3. 6.
පිළින්දිවච්ඡ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන නම්වූ කලන්දක නිවාපයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් පිලින්දිවච්ඡ ස්ථවිර තෙම භික්ෂූන්ට වසල වාදය කියමින් හැසිරෙයි. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: ‘ස්වාමීනි, ආයුෂ්මත් පිලින්දිවච්ඡතෙම භික්ෂූන්ට වසල වාදය කියමින් හැසිරෙයි’ යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට ඇමතූසේක: ‘මහණ, මෙහි එනු මැනවි. මාගේ වචනයෙන් “ඇවැත් පිලින්දිවච්ඡයෙනි, භාග්යවතුන් වහන්සේ ඔබ කැඳවන්නේයයි” පිලින්දිවච්ඡ භික්ෂුවට අඬගසනු මැනවි.’ ‘එසේය ස්වාමීනි’යි ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දී ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙම යම් තැනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට මෙය කීවේය: ‘ඇවැත්නි, ඔබට ශාස්තෲන්වහන්සේ අමතන සේක.’ ‘එසේය ඇවැත්නි’යි ආයුෂ්මත් පිලින්දිවච්ඡතෙම ඒ භික්ෂුවට පිළිතුරු දී භාග්යවතුන් වහන්සේ යම් තැනක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක සිටියාවූ ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ‘වච්ඡය. ඔබ භික්ෂූන්ට වසල වාදයෙන් කථාකරන්නේය යනු සැබෑද?’ ‘එසේය ස්වාමීනි’යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් පිලින්දිවච්ඡයන්ගේ පෙර විසූ ජාති පිළිවෙල සිහිකොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යුෂ්මත්හු වච්ඡ භික්ෂූවට දොස් නැගීම වශයෙන් ශබ්ද නොකරව්. මහණෙනි, වච්ඡ භික්ෂූව ඇතුළත කෝපය ඇතිව භික්ෂූන්ට වසල වාදය නොකියයි. මහණෙනි, වච්ඡ භික්ෂූව ජාති පන්සියයක් කොකඩවම බ්රාහ්මණ කුලයෙහි උපන්නේය. ඔහුට ඒ වසල වාදය බොහෝ කලක් පලපුරුදුය. එහෙයින් මේ වච්ඡ භික්ෂුව භික්ෂූන්ට වසල වාදය කියමින් හැසිරෙයි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළ සේක:
“යමකු කෙරෙහි රැවිටිල්ලද මාන්නයද නොපවතීද යමෙක් ක්ෂය කළ ලෝභ ඇත්තේ මමය මාගේයයි දෘෂ්ටිය නැත්තේ ආශාව නැත්තේ ක්රෝධය වෙන් කෙළේ නිවුණු ආත්ම භාවයක් ඇත්තේද හෙතෙම බ්රාහ්මණ නම් වේ, ශ්රමණ නම් වේ, භික්ෂු නම් වේ.”
3. 7.
කස්සප සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන නම්වූ කලන්දක නිවාපයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේ පිප්ඵලි ගුහාවෙහි වාසය කරති. එක්තරා සමාධියකට සමවැද සත් දිනක් එකම පළඟින් වැඩ සිටියේ වෙයි.
ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිර තෙම ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටියහ. ඒ සමාධියෙන් නැගිට ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේට ඉක්බිති මේ අදහස විය: ‘මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් යෙහෙක’ යනුයි. එසමයෙහි වනාහි පන්සියයක් දේවතාවෝ ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය පිළියෙල කිරීමට උද්යෝගවත් වෙති. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේ ඒ පන්සියයක් දේවතාවන් ප්රතික්ෂෙ කොට පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස හැසුරුණහ.
එකල්හි වනාහි දෙවියන්ට අධිපති ශක්රතෙම ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය දෙනු කැමැත්තෙන් වෙයි. හෙතෙම රෙදි වියන්නෙකුගේ වෙශයක් ගෙන නූල් කටියි. සුජාතා නම් අසුර කන්යාව ඒවා ඔතයි.
ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිර තෙම රජගහ නුවර ගෙපිළිවෙළින් පිණ්ඩපාතයෙහි හැසිරෙන්නේ දෙවියන්ට අධිපති ශක්රයාගේ නිවාසය යම් තැනකද, එහි පැමිණියහ. ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ එන බව දෙවියන්ට අධිපති ශක්රයා දුරදීම දැක්කේය. දැක ගෙයින් නික්ම පෙර මගට ගොස් අතින් පාත්රය ගෙන ගෙට පිවිස වළඳෙහි බත් ගෙන පාත්රය පුරවා ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේට පිළිගැන්විය. ඒ පිණ්ඩපාතය නොයෙක් සූප රශව්යඤ්ජනයෙන් යුක්තය.
ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය: ‘යමෙකුගේ මෙබඳු ආනුභාවයක් ඇත්තේද, මේ සත්වයා කවරෙක්ද?’ කියායි. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේට මේ අදහස වීය: ‘මේ ඒකාන්තයෙන් දෙවියන්ට අධිපති ශක්රයාය.’ මෙසේ දැන දෙවියන්ට අධිපති ශක්රයාට මෙසේ කීහ: “ශක්රය, ඔබ මෙය කරණ ලද්දේය. නැවත මෙසේ නොකළ මැනවි.”
“කාශ්යපයන් වහන්ස අපටද පිනෙන් ප්රයෝජන ඇත, අපටද පිනෙන් වැඩ ඇත.” ඉක්බිති දෙවියන්ට අධිපති ශක්රතෙම ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේට වැඳ ප්රදක්ෂිණාකොට අහසට පැන නැග අහසෙහි සිට තුන්වරක් “ආශ්චර්යය දානයක් උතුම් දානයක් කාශ්යප ස්ථවිරයන් වහන්සේ වෙත පිහිටුවන ලදී” යනුවෙන් ප්රීති වාක්ය ප්රකාශ කළේය.
භාග්යවතුන් වහන්සේ මිනිස් කය ඉක්මවූ දිව කණින් දෙවියන්ට අධිපති ශක්රයාගේ අහසට පැනනැග අහසෙහි සිට “ආශ්චර්යයවත් දානයක් පුදුම දානයක් කාශ්යප ස්ථවිරයන් වහන්සේ කෙරෙහි පිහිටුවන ලදී. ආශ්චර්යයවත් දානයක් පුදුම දානයක් කාශ්යප ස්ථවිරයන් වහන්සේ කෙරෙහි පිහිටුවන ලදී. ආශ්චර්යයවත් දානයක් පුදුම දානයක් කාශ්යප ස්ථවිරයන් වහන්සේ කෙරෙහි පිහිටුවන ලදී” යන තුන් වරක් කරණ ලද ප්රීති වාක්යය ඇසූසේක්මය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළසේක:
“තමා පොෂණය කරන්නාවූ අන්යයකු පොෂණය නොකරන්නාවූ තාදීවූ උපශාන්තවූ හැමකල්හි සිහි ඇති පිණ්ඩපාතික භික්ෂුවට දෙවියෝ කැමතිවෙත්.”