3. 2.
නන්ද බ්රහ්මචරිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් නන්ද භාග්යවතුන් වහන්සේගේ සහෝදරවූද කුඩා මවගේ පුත් ආයුෂ්මත් නන්ද තෙමේ රැස්වූ බොහෝ භික්ෂූන්ට මෙසේ කියයි: “ඇවැත්නි, මම ඇල්මෙන් තොරව මහණ දම් පුරමි. මහණ දම හොඳට දරා ගැනීමට නොහැක්කෙමි. ශික්ෂාව ප්රතික්ෂෙප කොට ගිහි වන්නෙමී”යි.
ඉක්බිත්තෙන් වනාහි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම්තැනෙකද එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක් පැත්තෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ සහෝදරවූද කුඩා මවගේ පුත්රවූද ආයුෂ්මත් නන්ද රැස්වූ බොහෝ භික්ෂූන්ට මෙසේ ප්රකාශකරයි: “ඇවැත්නි, මම ඇල්මෙන් තොරව මහණ දම් පුරමි. මහණ දම හොඳට දරා ගැනීමට නොහැක්කෙමි. ශික්ෂාව ප්රතික්ෂෙප කොට ගිහි වන්නෙමී”යි.
ඉක්බිත්තෙන් වනාහි භාග්යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූසේක: “භික්ෂුව, එන්න නුඹ මාගේ වචනයෙන් නන්ද භික්ෂුව අමතව: “ඇවැත් නන්දය, ශාස්තෘන් වහන්සේ ඔබට කථාකරතියි” කියායි.” “ස්වාමීනි, එසේය”යි, ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට පිළිතුරුදී ආයුෂ්මත් නන්ද යම් තැනෙකද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නන්දට “ආයුෂ්මත් නන්ද, ශාස්තෘන් වහන්සේ ඔබට කථාකරතියි” මෙය කීය.
“ඇවැත්නි, හොඳයයි” ආයුෂ්මත් නන්ද ඒ භික්ෂුවට පිළිතුරුදී භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් නන්දට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: “නන්ද, ඔබ රැස්වූ බොහෝ භික්ෂූන්ට ‘ඇවැත්නි, මම ඇල්මෙන් තොරව මහණකම් කරමි, මහණකම හොඳට දරාගන්නට නොහැක්කෙමි, ශික්ෂාව ප්රතික්ෂෙපකොට ගිහි වන්නෙමියි’ මෙසේ ප්රකාශ කරහි?” “ස්වාමීනි, එසේය.” “නන්ද, ඔබ කුමක් නිසා ඇල්මෙන් තොරව මහණදම් කරහිද, මහණකම හොඳට දරාගන්නට නොහැක්කෙහිද, ශික්ෂා ප්රතික්ෂෙපකොට ගිහි වන්නෙහිද?” “ස්වාමීනි, ජනපද කල්යාණී නම් ශාක්යපුත්රය, ගෙදරින් පිටවන මට අඩක් පීරූ කෙසින් මා බලා ‘ආර්ය පුත්රය, ඉක්මනින් එන්නයයි’ මට මෙය කීවාය. ස්වාමීනි, ඒ මම ඇය සිහිකරන්නේ ඇල්මෙන් තොරව මහණදම් කරමි. මහණකම හොඳට දරන්නට නොහැක්කෙමි. ශික්ෂාව ප්රතික්ෂෙපකොට ගිහි වන්නෙමි.”
ඉක්බිත්තෙන් වනාහි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්ද අතින් අල්ලාගෙන, යම්සේ බලවත් පුරුෂයෙක් හැකිළවූ අත දික් කරන්නේද දික්කළ අත හකුළන්නේද මෙසේම ජේතවනයෙන් අතුරුදන්ව, තව්තිසා දෙවියන් අතර පහළ විය.
එසමයෙහි වනාහි පරෙවි (රතු) පා ඇති පන්සියයක් පමණ දිව්යාප්සරාවෝ දෙවියන්ට අධිපති ශක්රයාට උපස්ථානයට පැමිණියාහුවෙත්. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දහට කථාකළසේක: “නන්ද, ඔබ මේ පරෙවි (රතු) පා ඇති පන්සියයක් පමණ දිව්යාප්සරාවෝ නොදක්නෙහිද?” “ස්වාමීනි, එසේය.”
“නන්ද, ඔබ කුමක් සිතන්නෙහිද? ශාක්යප්රතී ජනපද කල්යාණියද පරෙවි පා ඇති මේ පන්සියයක් දිව්යාප්සරාවෝද යන මින් කවරක් වනාහි වඩා රූමත්ද, වඩා දැකුම් කලුද වඩා පහදවයිද?”
“ස්වාමීනි, යම්සේ කන් නාශා සිඳුණු දැවුණු වැඳිරිය යම්සේද, ස්වාමීනි, එසේම ශාක්යප්රතී ජනපද කල්යාණිය පන්සියයක් දිව්යාප්සරාවන් හා සමකිරීමේදී ගණනකට හෝ කලාවකට හෝ කලා අර්ධයකට හෝ නොඑයි. එහෙම නමුත් මේ පන්සියයක් අප්සරාවෝ වඩාරූමත්ය. වඩා දැකුම්කලුය, වඩා පහදවත්.”
“නන්ද, සිත් අලවන්න, නන්ද සිත් අලවන්න. පරෙවි පා ඇති පන්සියයක් අප්සරාවන් ලබා දීමට මම තොපට ඇපවෙමි.”
“ස්වාමීනි, ඉදින් භාග්යවතුන් වහන්සේ මට පරෙවි පා ඇති පන්සියයක් දිව්යාංගනාවන් ලබාදීමට ඉදින් මට ඇපවනසේක්ද, ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේ කෙරෙහි බ්රහ්මචර්ය්යාව රැකීමෙහි ඇලෙන්නෙමි.”