3. 3.
යසොජපමුඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඒ කාලයෙහි යසොජ ප්‍රධාන පන්සියයක් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකින්නට සැවැත්නුවරට පැමිණියාහුවෙත්. මෙහි ඒ ආගන්තුක භික්‍ෂූහු ආවාසික භික්‍ෂූන් සමග සතුටු නොවන්නාහු සෙනසුන් පනවමින් පාත්‍ර සිවුරු හකුලමින් උස්හඬ මහාහඬ ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූසේක: “ආනන්ද, මසුන් අල්ලන කෙවුලන් මෙන් උස්හඬ මහහඬ ඇත්තාවූ ඔව්හු කවරහුදැ”යි.
“ස්වාමීනි යසොජ ප්‍රධාන පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු ආවාසික භික්‍ෂූන් සමග සතුටු නොවන්නාහු සෙනසුන් පනවමින් පාත්‍ර සිවුරු හකුලමින් උස්හඬ මහාහඬ ඇත්තෝ වෙති”යි.
‘ආනන්‍දය, එසේවීනම් මගේ වචනයෙන් ‘ආයුෂ්මතුනි භාග්‍යවතුන් වහන්සේ කැඳවත්යයි” ඒ ‘භික්‍ෂූන්ට අඬගසව්” “ස්වාමීනි එසේයයි,” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ඒ භික්‍ෂූහු යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන්ට “ආයුෂ්මතුන්ට භාග්‍යවතුන් වහන්සේ කථා කරත්යයි” කීයේය.
“ඇවැත්නි එසේදැයි” ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍දට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මසුන් අල්ලන කෙවුලන්මෙන් තෙපි කුමක්හෙයින් උස්හඬ මහහඬ ඇත්තාහුදැයි” ඇසූහ.
මෙසේ වදාළකල්හි ආයුෂ්මත් යසොජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි මේ පන්සියයක් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු ආවාසික භික්‍ෂූන් සමග සතුටු නොවන්නාහු සෙනසුන් පනවමින් පාත්‍ර සිවුරු හකුලමින් උස්හඬ මහාහඬ ඇත්තෝ වෙති”යි.
“මහණෙනි, යව්, මම තොප පණාම කරමි. තොප මා සමීපයේ නොවසව්.”
ඒ භික්‍ෂූහු “එසේය ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට සෙනසුන් හකුළුවා පාත්‍ර සිවුරුගෙන වජ්ජිරට යම් තැනෙක්හිද එහි පයින් වැඩියාහුය. පිළිවෙළින් වජ්ජිරට ඇවිදින්නෝ වග්ගු මුදානදිය යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ වග්ගු මුදානදිය අද්දර කොලකුටිකොට වස්වැසූහ.
ඉක්බිති ආයුෂ්මත් යසොජතෙමේ වස්වැසුයේ භික්ෂූන් ඇමතීය: “ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත කැමැත්තෙන්, හිතවත්ව, අනුකම්පාවෙන් කරුණාවෙන් අප නෙරපන ලද්දාහුය. ඇවැත්නි එසේ හෙයින් අපි දැන් යම්සේ වාසය කරණ අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වනසේක්ද එසේ වාසය කරමුයි” කීවේය.
“ඇවැත්නි එසේයයි” ඒ භික්‍ෂූහූ ආයුෂ්මත් යසෝජට පිළිතුරු දුන්හ. ඉක්බිති ඒ භික්‍ෂූහු විවේකයටගියාහු අප්‍රමාදවූවාහු කෙලෙස් තවන්නාහු කාය ජීවිත දෙක්හි අපෙක්‍ෂා රහිතව වාසය කරන්නෝ ඒවස් කාලයේම සියල්ලෝම ත්‍රිවිද්‍යාවන් ලබාගත්තාහුය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමතිතාක්කල් වැස විශාලානුවර යම් තැනෙක්හිද එහි වැඩිසේක. පිළිවෙළින් වඩිනසේක් විශාලා නුවරට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර මහා වනයෙහි කූටාගාරශාලාවෙහි වාසය කරති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා තීරයෙහිවූ භික්‍ෂූන්ගේ සිත තම සිතින් දැන මෙනෙහිකොට ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූසේක. “ආනන්‍දය අර දිශාවෙහි මට එලියක් පහළවූවාක්මෙනි. ආනන්‍දය අරදිශාවෙහි මට දිලිසීමක් පහළවූවාක්මෙනි. යම් දිශාවක වග්ගුමුදා තීරයෙහිවූ භික්‍ෂූන් වසත්ද, මෙනෙහි කිරීමට අප්‍රතිකූලය. ආනන්‍දය, ඔබ වග්මුදාතීරයෙහිවූ භික්‍ෂූන් වෙත ‘ආයුෂ්මතුන්ට භාග්‍යවතුන් වහන්සේ කථාකරණසේක, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් දක්නට කැමතිසේකැයි’ කියා දූතයකු යවන්න”
“ස්වාමීනි එසේයයි” ආයුෂ්මත් ආනන්‍දතෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී එක්තරා භික්‍ෂුවක් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂුවට “ඇවැත්නි එව වග්ගුමුදාතෙරෙහිවූ භික්‍ෂූන් යම්තැනෙක්හිද එහි යන්න, ගොස් වග්ගුමුදාතීරයෙහිවූ භික්‍ෂූන්ට, “ආයුෂ්මතුන්ට භාග්‍යවතුන් වහන්සේ කථාකරති, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් දක්නා කැමත්තාහයි” මෙසේ කියන්නැයි කීවේය.