2. 9.
විසාඛා සූත්රය
1. එවම්මෙ සුතං: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වරාමයෙහි මිගාරමාතුපාසාදයෙහි වැඩවසනසේක. එසමයෙහි මිගාර මාතෘ නම් විශාඛාවගේ කිසියම් කටයුත්තක් පසේනදී කොසොල් රජු කෙරෙහි පැවතුණේ වෙයි. පසේනදී කොසොල් රජතෙම එය අභිමත පරිදි තීරණය නොකරයි.
ඉක්බිති මිගාරමාතෘ නම් විශාඛාතොමෝ දහවල් කාලයේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක හුන්නාවූම මිගාරමාතෘ නම් වූ විශාඛාවට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: “විශාඛාවෙනි, ඔබ මේ දහවල් කාලයේ කොහි සිට එන්නීද?”
“ස්වාමීනි, මෙහි මාගේ කිසියම් කටයුත්තක් පසේනදී කොසොල් රජු කෙරෙහි පැවතුණේ වෙයි. පසේනදී කොසොල් රජතෙම එය අභිමත පරිදි තීරණය නොකරයි.”
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළසේක:
“අනුන් අයත් සියල්ල දුක්ය. සියලු අධිපති බව සැපය. පොදු බව ඇති කල්හි වෙහෙසෙති. බැඳීම් ඉක්මවීම ඒකාන්තයෙන් දුෂ්කරය.”
2. 10.
භද්දිය සූත්රය
1. එවම්මෙ සුතං: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අනුපිය නම් අඹවනයෙහි වැඩවසනසේක. එසමයෙහි කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්යාගාරයට ගියේද නිතර “ඉතා සැපයි, ඉතා සැපයි” යි උදාන කියයි. වනයට ගියාවූද, රුක්මුළට ගියාවූද ශුන්යාගාරයට ගියාවූද කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දියයන්ගේ නිතර “ඉතා සැපයි, ඉතා සැපයි” යි උදාන කියන හඬ බොහෝ භික්ෂූහු ඇසුවාහුමය. අසා ඒ භික්ෂූන්ට මේ අදහස විය: “ඇවැත්නි, නිසැකවම කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම බ්රහ්මචරියෙහි නොඇලී වසයි, යම් හෙයකින් හෙතෙම පෙර ගිහිව සිටියදී රාජ්ය සැප විඳියේද, හෙතෙම එය සිහිකරමින් වනයට ගියේද, රුක්මුලට ගියේද, ශුන්යාගාරයට ගියේද නිතර උදාන කියයි: ‘ඉතා සැපයි, ඉතා සැපයි’” යි.
2. ඉක්බිති බොහෝ භික්ෂුහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියාහ. එකත්පස්ව සිටියාවූම ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය දැන්වූහ: “ස්වාමීනි, කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම අරණ්යයට ගියේද රුක්මුලට ගියේද ශුන්යාගාරයට ගියේද නිතර උදාන කියයි: ‘ඉතා සැපයි ඉතා සැපයි’ යි. නිසැකවම ස්වාමීනි, කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම බ්රහ්මචරියෙහි නොඇලී වසයි. යම් හෙයකින් හෙතෙම පෙර ගිහිව සිටියදී රාජ්ය සැප විඳියේද, හෙතෙම එය සිහිකරමින් වනයට ගියේද, රුක්මුලට ගියේද, ශුන්යාගාරයට ගියේද නිතර උදාන කියයි: ‘ඉතා සැපයි ඉතා සැපයි’” යි.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූසේක: “භික්ෂුව මෙහි එව, ඔබ මාගේ වචනයෙන් භද්දිය භික්ෂුව අමතව: ‘ඇවැත්නි භද්දිය, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන්නේය’” යි.