2. 10.
භද්දිය සූත්‍රය
1. එවම්මෙ සුතං: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනුපිය නම් අඹවනයෙහි වැඩවසනසේක. එසමයෙහි කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද නිතර “ඉතා සැපයි, ඉතා සැපයි” යි උදාන කියයි. වනයට ගියාවූද, රුක්මුළට ගියාවූද ශුන්‍යාගාරයට ගියාවූද කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දියයන්ගේ නිතර “ඉතා සැපයි, ඉතා සැපයි” යි උදාන කියන හඬ බොහෝ භික්‍ෂූහු ඇසුවාහුමය. අසා ඒ භික්‍ෂූන්ට මේ අදහස විය: “ඇවැත්නි, නිසැකවම කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම බ්‍රහ්මචරියෙහි නොඇලී වසයි, යම් හෙයකින් හෙතෙම පෙර ගිහිව සිටියදී රාජ්‍ය සැප විඳියේද, හෙතෙම එය සිහිකරමින් වනයට ගියේද, රුක්මුලට ගියේද, ශුන්‍යාගාරයට ගියේද නිතර උදාන කියයි: ‘ඉතා සැපයි, ඉතා සැපයි’” යි.
2. ඉක්බිති බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියාහ. එකත්පස්ව සිටියාවූම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ: “ස්වාමීනි, කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම අරණ්‍යයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද නිතර උදාන කියයි: ‘ඉතා සැපයි ඉතා සැපයි’ යි. නිසැකවම ස්වාමීනි, කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම බ්‍රහ්මචරියෙහි නොඇලී වසයි. යම් හෙයකින් හෙතෙම පෙර ගිහිව සිටියදී රාජ්‍ය සැප විඳියේද, හෙතෙම එය සිහිකරමින් වනයට ගියේද, රුක්මුලට ගියේද, ශුන්‍යාගාරයට ගියේද නිතර උදාන කියයි: ‘ඉතා සැපයි ඉතා සැපයි’” යි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් ඇමතූසේක: “භික්‍ෂුව මෙහි එව, ඔබ මාගේ වචනයෙන් භද්දිය භික්‍ෂුව අමතව: ‘ඇවැත්නි භද්දිය, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන්නේය’” යි.
“එසේය ස්වාමීනියි” ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දියයන් යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දියයන්ට මෙය කීවේය: “ඇවැත්නි භද්දිය, ශාස්තෲන් වහන්සේ ඔබ අමතනසේකැ”යි.
“එසේය, ඇවැත්නි”යි කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දිය තෙම ඒ භික්‍ෂුවට පිළිතුරු දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කාළිගොධාය පුත්ත ආයුෂ්මත් භද්දියයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “භද්දිය, ඔබ වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද නිතර ‘ඉතා සැපයි, ඉතා සැපයි’ යි උදාන කියන බව සැබෑද?” “එසේය ස්වාමීනි.” “භද්දිය, ඔබ කුමන අර්ථයක් දකිමින් වනයට ගියේද, රුක්මුලට ගියේද, ශුන්‍යාගාරයට ගියේද, නිතර ‘ඉතා සැපයි ඉතා සැපයි’ යි උදාන කියන්නෙහිද?”
“ස්වාමීනි, මා පෙර ගිහිවූයේ රාජ්‍යය කරවන කල්හි ඇතුළු නගරය ඇතුළෙහිද ආරක්‍ෂාව මනාකොට කරණලද්දේ විය. ඇතුළුනුවර පිටතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. නගරයෙහි ඇතුළතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. නගරයෙහි පිටතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. ජනපදය ඇතුළතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. ජනපදය පිටතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. ස්වාමීනි, ඒ මම මෙසේ රකිනු ලබන්නේ ගෝපනය කරනු ලබන්නේ වුවද බියවූයේ, තැතිගත්තේ සැක ඇත්තේ, හටගත් ලොමුඩැහැගැනීම් ඇත්තේ විසු වෙමි. ස්වාමීනි, දැන් වනාහි මම වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද තනිවූයේ බිය නැත්තේ තැති නොගත්තේ සැක නැත්තේ ලොමුඩැහැගැනීම් නැත්තේ (ආරක්‍ෂාවට) උත්සාහ නැත්තේ පහතට හෙලු ලෝම ඇත්තේ, අනුන් යැපීම් ඇත්තේ මුවෙකු මෙන් වූ සිතින් වාසයකරමි. ස්වාමීනි, මම මේ අර්ථය දකිමින් වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද, නිතර ‘ඉතා සැපයි, ඉතා සැපයි’ යි උදාන කියමි.”
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළසේක:
“යමෙකුගේ අභ්‍යන්තරයෙහි කෝපයෝ නැත්තාහුද, හෙතෙම භවයෙන් භවය ඇතිකිරීම ඉක්මවූයේද, බිය පහකළ, ශෝක නැති, සැපත ඇති ඔහු, දේවතාවෝද දැකීමට සමත් නොවෙත්.”
දෙවැනි මුචලින්‍ද වර්ගයයි.
එහි සූත්‍ර නාමාවලිය:
මුචලින්ද රජ, දණ්ඩ, සක්කාර, උපාසක, ගබ්භිනී, එකපුත්ත, සුප්පවාසා, විසාඛා සහ කාළිගොධායපුත්ත භද්දිය ද වේ.