2. 8.
සුප්පවාසා සූත්රය.
එවම්මෙ සුතං: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුණ්ඩියායෙහි කුණ්ඩධාන නම් වනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුප්පවාසා නම් කොලිය ධීතෘව සත්වසක් වූ ගැබ දරන්නී ගැබ සරසට වැටී සත් දිනක් මුළුවූ ගැබ ඇත්තී විය. ඇය දුක්වූ දැඩිවූ කටූකවූ වේදනාවෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසයි:
“ඒ භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධය. යම් හෙයකින් මෙබඳු දුක නැති කිරීමට ධර්මය දේශනාකරයි, ඒ භාග්යවතුන්වහන්සේගේ ශ්රාවක සංඝයා ඒකාන්තයෙන් මනාව පිළිපන්නේය. යම් හෙයකින් මෙබඳු දුක නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම් තැනක මෙබඳු දුකක් විද්යාමාන නොවේද ඒ නිර්වාණය මනා සැපයකි” යි.
ඉක්බිති සුප්පවාසා කොලිය ධීතෘව ස්වාමියා ඇමතීය: “ආර්ය පුත්රය, ඔබ මෙහි එනුමැනවි. භාග්යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව. ගොස් මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිනු මැනව. ආබාධ නැති බව, රෝග නැති බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසුවිහරණ විචාරනු මැනවි: “ස්වාමීනි, සුප්පවාසා කොලියධීතෘව භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නීය. ආබාධ නැති බව, රෝග නැති බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසුවිහරණ විචාරන්නීය’යි. මෙසේද කියනු මැනවි: “ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක්වූ ගැබ දරන්නී ගැබ සරස්ව දින සතකි. ඇය දුක්වූ දැඩිවූ රළුවූ වේදනාවන්ගෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසන්නීය: “ඒකාන්තයෙන් ඒ භාග්යවත්තෙම සම්යක් සම්බුද්ධය. යම් හෙයකින් මෙබඳු දුක නැති කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. යම් හෙයකින් මෙබඳු දුක නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම් තැනක මෙබඳු දුකක් නැත්තේද, ඒ නිර්වාණය මනා සුවයකි”’යි.
3. “එසේය” යි ඒ කොලියපුත්රතෙම සුප්පවාසා කොලිය ධීතෘවට පිළිතුරු දී භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූම ඒ කොලියපුත්රතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:
“ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නීය. ආබාධ නැති බව, රෝග නැති බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසුවිහරණ විචාරන්නීය. මෙසේද කියන්නීය: ‘ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වස්වූ ගැබ් දරන්නී ගැබ සරස්ව දින සතකි. ඇය දුක්වූ දැඩිවූ රළුවූ වේදනාවෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසන්නීය: ‘ඒ භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධය. යම් හෙයකින් මෙබඳු දුක් නැති කිරීම පිණිස ධර්මදේශනා කරණසේක. ඒ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා ඒකාන්තයෙන් සුපිළිපන්ය. යම් හෙයකින් මෙබඳු මේ දුක් නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම්තැනක මෙබඳු දුකක් නැත්තේද ඒ නිර්වාණය මනා සුවයකි’යි.
“සුප්පවාස කොලිය ධීතෘව සැප ඇත්තී රෝග නැත්තී වේවා, නිරෝගිවූ පුතෙකු වදාවා”යි. භාග්යවතුන් වහන්සේගේ වචනය සමගම සුප්පවාසා කොලිය ධීතෘව සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය.
“එසේය ස්වාමීනි”යි ඒ කොලිය පුත්රතෙම භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණාකොට ස්වකීය ගෘහය යම් තැනකද එහි ආපසු ගියේය.
කොලිය පුත්රතෙම සුප්පවාස කොලිය ධීතෘව සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතකු වැදූබව දිට්ටියේය. දැක ඔහුට මේ අදහස වීය: “භවත්නි, ආශ්චර්යය! භවත්නි, පුදුමය!! තථාගතයන් වහන්සේගේ මහත් සෘද්ධි ඇතිබව, මහත් ආනුභාව ඇතිබව, යම් තැනක මේ සුප්පවාසා කොලිය ධීතෘව භාග්යවතුන් වහන්සේගේ වචනය සමගම සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය”යි. සතුටු සිත් ඇත්තේ ප්රමුදිතවූයේ සතුටු සොම්නස් ඇත්තේ විය.
ඉක්බිති සුප්පවාස කොලිය ධීතෘව ස්වාමියා ඇමතුවාය: “ආර්යය පුත්රය, ඔබ මෙහි එනු මැනව, භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණෙනු මැනව. පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නේයයි’ භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිනු මැනව. මෙසේද කියනු මැනව: ‘ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක් ගැබ දරුවා සත් දිනක් ගැබ සරස්ව සිටියාය. ඇය දැන් සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය. ඇය සත් දිනක් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා බතින් ආරාධනා කරන්නීය. ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, සුප්පවාසා කොලිය ධීතෘවගේ බත් සත භික්ෂු සංඝයා සමග ඉවසනසේක්වා” යනුයි.