2. 7.
එකපුත්තක සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි එක්තරා උපාසකයෙකුගේ ප්රියවූ මන වඩන්නාවූ එකම පුත්රයෙක් විය. ඔහු කාලක්රියා කළේය. ඉක්බිති බොහෝ උපාසකවරු තෙත් වූ වස්ත්ර ඇතිව තෙත් හිසකේ ඇතිව මධ්යාහ්නයෙහි භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටියාවූ ඒ උපාසකයින්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “උපාසකයෙනි, තෙපි තෙත් වස්ත්ර ඇතිව තෙත් හිසකේ ඇතිව මධ්යාහ්නයෙහි මෙහි කුමක් පිණිස පැමිණියහුද?”
එවිට ඒ උපාසක තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමිනී, මාගේ ප්රියවූ මනවඩන්නාවූ එකම පුත්රයෙක් විය. ඔහු කාලක්රියා කළේය. එහෙයින් අපි තෙත් වස්ත්ර ඇතිව තෙත් හිසකේ ඇතිව මධ්යාහ්නයෙහි මෙහි පැමිණියෙමු.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළ සේක:
“දෙවියෝද බොහෝ මිනිස්සුද ප්රිය රූපයන් කෙරෙහි යහපත්යයි සිතාගන්නාහුද පිරිහෙන්නාහු දුක් දෙන්නාහු මරුවාගේ වසඟයට යත්.”
“යම් කෙනෙක් රෑද දවල්ද අප්රමාද වූයේ ප්රිය රූපය දුරු කෙරෙද්ද? ඒකාන්තයෙන් ඔවුහුම දුකට මුල සාරාදමත්. මරුවාගේ ආමිසය ඈත් කළාහු වෙති.”
2. 8.
සුප්පවාසා සූත්රය.
එවම්මෙ සුතං: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුණ්ඩියායෙහි කුණ්ඩධාන නම් වනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුප්පවාසා නම් කොලිය ධීතෘව සත්වසක් වූ ගැබ දරන්නී ගැබ සරසට වැටී සත් දිනක් මුළුවූ ගැබ ඇත්තී විය. ඇය දුක්වූ දැඩිවූ කටූකවූ වේදනාවෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසයි:
“ඒ භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්යක් සම්බුද්ධය. යම් හෙයකින් මෙබඳු දුක නැති කිරීමට ධර්මය දේශනාකරයි, ඒ භාග්යවතුන්වහන්සේගේ ශ්රාවක සංඝයා ඒකාන්තයෙන් මනාව පිළිපන්නේය. යම් හෙයකින් මෙබඳු දුක නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම් තැනක මෙබඳු දුකක් විද්යාමාන නොවේද ඒ නිර්වාණය මනා සැපයකි” යි.
ඉක්බිති සුප්පවාසා කොලිය ධීතෘව ස්වාමියා ඇමතීය: “ආර්ය පුත්රය, ඔබ මෙහි එනුමැනවි. භාග්යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව. ගොස් මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිනු මැනව. ආබාධ නැති බව, රෝග නැති බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසුවිහරණ විචාරනු මැනවි: “ස්වාමීනි, සුප්පවාසා කොලියධීතෘව භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නීය. ආබාධ නැති බව, රෝග නැති බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසුවිහරණ විචාරන්නීය’යි. මෙසේද කියනු මැනවි: “ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක්වූ ගැබ දරන්නී ගැබ සරස්ව දින සතකි. ඇය දුක්වූ දැඩිවූ රළුවූ වේදනාවන්ගෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසන්නීය: “ඒකාන්තයෙන් ඒ භාග්යවත්තෙම සම්යක් සම්බුද්ධය. යම් හෙයකින් මෙබඳු දුක නැති කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. යම් හෙයකින් මෙබඳු දුක නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම් තැනක මෙබඳු දුකක් නැත්තේද, ඒ නිර්වාණය මනා සුවයකි”’යි.