2. 4.
සක්කාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණ ලද්දේ වෙයි, ගරුකාර කරණ ලද්දේ වෙයි, බහුමාන කරන ලද්දේ වෙයි, පුදන ලද්දේ වෙයි, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දේවල ලැබීම ඇත්තේ වෙයි. භික්‍ෂු සංඝයාද සත්කාර කරණ ලද්දේ වෙයි, ගරුකාර කරණ ලද්දේ වෙයි, බහුමාන කරන ලද්දේ වෙයි, පුදන ලද්දේ වෙයි, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දේවල ලැබීම ඇත්තේ වෙයි.
අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහී සත්කාර නොකරණ ලද්දාහු, ගරුකාර නොකරණ ලද්දාහු, බුහුමන් නොකරණ ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති. ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂුසංඝයාගේද සත්කාර නොඉවසන්නාහු ගමෙහිද, වනයෙහිද භික්‍ෂූන් දැක අසභ්‍ය නපුරු වචනවලින් බණිත්, දොස් කියත්, වෙහෙස කරත්, කෝපවෙත්.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ:
“ස්වාමිනී, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණලද්දේ, ගරුකාර කරණ ලද්දේ, බහුමාන කරන ලද්දේ, පුදනලද්දේ, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. භික්‍ෂු සංඝයාද සත්කාර කරණලද්දේ, ගරුකාර කරණ ලද්දේ, බහුමාන කරන ලද්දේ, පුදනලද්දේ, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහී සත්කාර නොකරණ ලද්දාහු, ගරුකාර නොකරණ ලද්දාහු, බුහුමන් නොකරණ ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති.
ස්වාමිනී, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද සත්කාර නොඉවසන්නාහු ගමෙහිද, වනයෙහිද, භික්‍ෂූන් දැක අසභ්‍යවූ නපුරු වචනවලින් බණිත්, දොස් කියත්, කෝප වෙත්, වෙහෙසත්” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක:
“තමා ගැන හෝ අන්‍යයා ගැන හෝ ගමෙහිද වනයෙහිද සුඛ දුක්ඛ ස්පර්ශය නොසොයන්නේය. කෙලෙස් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරත්. කෙලෙස් රහිතවූ කල කවරකු විසින් ස්පර්ශයෝ ස්පර්ශ කරණු ලැබෙද්ද?”
2. 5.
උපාසක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි වනාහි ඉච්ඡානංගලක නම් උපාසකයෙක් තෙම කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවරට පැමිණියේ වෙයි. ඒ උපාසක තෙම සැවැත්නුවර ඒ කාරණය අවසන් කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත් පසෙක සිටියාවූ ඒ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “උපාසකය, ඔබ මෙහි ඒමට බොහෝ කලක් ගත කළෙහිය.”
“ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ දැකීමට එනු කැමතිව බොහෝ කලක් ගතවිය. එසේ නමුදු මම බොහෝ වැඩ කටයුතුවල යෙදුන නිසා භාග්‍යවතුන් වහන්සේ දක්නට එන්නට නොලැබීමි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක:
“ජනතෙම ජනයා කෙරෙහි ඇළුනේය. වෙහෙසෙන්නාවූ කෙලෙස් සහිත සත්වයා බලව, සංස්කාර ධර්මයන් පිළිබඳ මනා දැනීම ඇති ඔහුට ඒකාන්තයෙන් කිසි සැපතක් නැත.”
2. 6.
ගබ්භිනී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි වනාහි එක්තරා පිරිවැජියෙකුගේ භාර්‍ය්‍යාව වූ තරුණ මෙනෙවිය හටගත් ගැබ් ඇත්තී වැදීමට ලංව සිටියාය.
ඉක්බිති ඒ පරිබ්‍රාජිකාව ඒ පිරිවැජියාට මෙය කීවාය: “බ්‍රාහ්මණය, යව ඔබ තෙල් ගෙනෙව, මාගේ වැදීම පිණිස යමක් උපකාර වන්නේය.” මෙසේ කී කල්හි පිරිවැජියා ඒ පරිබ්‍රාජිකාවට මෙය කීවේය: “පින්වතිය, මම කොහින් තෙල් ගෙණෙන්නෙම්ද?” දෙවනුවද ඒ පරිබ්‍රාජිකාව පිරිවැජියාට මෙය කීවාය: “බ්‍රාහ්මණය ඔබ යව තෙල් ගෙනෙව යමක් මාගේ වැදීම පිණිස ප්‍රයෝජනවත් වන්නේය.” “පින්වතිය, මම කොහින් තෙල් ගෙන එන්නෙම්ද?” තුන්වෙනි වරද ඒ පරිබ්‍රාජිකාව ඒ පිරිවැජියාට මෙය කීවාය: “බ්‍රාහ්මණය, ඔබ යව තෙල් ගෙනෙව යමක් මාගේ වැදීම පිණිස ප්‍රයෝජන වන්නේය.”