2. 3.
දණ්ඩ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි බොහෝ ළමයි සැවැත්නුවරටත් ජේතවනයටත් අතර ගරඬියෙකුට දණ්ඩෙන් හිංසා කරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසිසේක. සැවතටත් ජේතවනයටත් අතර බොහෝ ළමයින් දණ්ඩකින් ගැරඬියෙකුට හිංසාකරණු භාග්‍යවතුන් වහන්සේ දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ සේක:
“යමෙක් තමහට සුව කැමතිව, සැපය කැමති සතුන්ට දණ්ඩෙන් හිංසා කෙරේද හෙතෙම පරලොව සුව නොලබන්නේය.
යමෙක් තමහට සුව කැමතිව, සැපය කැමති සතුන්ට දණ්ඩෙන් හිංසා නොකෙරේද හෙතෙම පරලොව සුව ලබන්නේය.”
2. 4.
සක්කාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණ ලද්දේ වෙයි, ගරුකාර කරණ ලද්දේ වෙයි, බහුමාන කරන ලද්දේ වෙයි, පුදන ලද්දේ වෙයි, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දේවල ලැබීම ඇත්තේ වෙයි. භික්‍ෂු සංඝයාද සත්කාර කරණ ලද්දේ වෙයි, ගරුකාර කරණ ලද්දේ වෙයි, බහුමාන කරන ලද්දේ වෙයි, පුදන ලද්දේ වෙයි, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දේවල ලැබීම ඇත්තේ වෙයි.
අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහී සත්කාර නොකරණ ලද්දාහු, ගරුකාර නොකරණ ලද්දාහු, බුහුමන් නොකරණ ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති. ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂුසංඝයාගේද සත්කාර නොඉවසන්නාහු ගමෙහිද, වනයෙහිද භික්‍ෂූන් දැක අසභ්‍ය නපුරු වචනවලින් බණිත්, දොස් කියත්, වෙහෙස කරත්, කෝපවෙත්.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ:
“ස්වාමිනී, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණලද්දේ, ගරුකාර කරණ ලද්දේ, බහුමාන කරන ලද්දේ, පුදනලද්දේ, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. භික්‍ෂු සංඝයාද සත්කාර කරණලද්දේ, ගරුකාර කරණ ලද්දේ, බහුමාන කරන ලද්දේ, පුදනලද්දේ, සලකන ලද්දේ වෙයි, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහී සත්කාර නොකරණ ලද්දාහු, ගරුකාර නොකරණ ලද්දාහු, බුහුමන් නොකරණ ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නාහු වෙති.
ස්වාමිනී, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද සත්කාර නොඉවසන්නාහු ගමෙහිද, වනයෙහිද, භික්‍ෂූන් දැක අසභ්‍යවූ නපුරු වචනවලින් බණිත්, දොස් කියත්, කෝප වෙත්, වෙහෙසත්” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක:
“තමා ගැන හෝ අන්‍යයා ගැන හෝ ගමෙහිද වනයෙහිද සුඛ දුක්ඛ ස්පර්ශය නොසොයන්නේය. කෙලෙස් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරත්. කෙලෙස් රහිතවූ කල කවරකු විසින් ස්පර්ශයෝ ස්පර්ශ කරණු ලැබෙද්ද?”