2. 2.
රාජ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුනාවූ සවස් වේලෙහි උපස්ථාන ශාලාවෙහි එක්වූ, රැස්වූ බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කථාවක් පහළ විය:
“ඇවැත්නි, මගධ රටට අධිපති සේනා ඇති බිම්බිසාර රජුද පසේනදි කොසොල් රජුද යන මේ රජවරුන් දෙදෙනාගෙන් කවරෙක් වනාහි මහත්වූ ධන ඇත්තේද, මහත්වූ භොග ඇත්තේද, මහත්වූ කොටු ගුල් ඇත්තේද, මහත්වූ විජිතයන් ඇත්තේද, මහත්වූ වාහන ඇත්තේද, මහත්වූ බල ඇත්තේද, මහත්වූ සෘද්ධිය ඇත්තේද” යනුවෙනි. එකල්හි ඒ භික්ෂූන්ගේ අතුරු කථාව අවසන් නොවීය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටිසේක් උපස්ථාන ශාලාව යම්තැනකද එතැනට වැඩිසේක. වැඩ පනවනලද අස්නෙහි වැඩසිටිසේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි දැන් රැස්ව කවර කථාවකින් යුක්තව සිටියහුද, කවර අතුරුකථාවක් ඉතිරිවීදැයි” විචාළසේක.
“ස්වාමීනි මෙහි පිණ්ඩපාතයෙන් වැලකුණ සවස් කාලයෙහි එක්වූ රැස්වූ අප අතර මේ අතුරු කථාවක් පහළවිය: ‘ඇවැත්නි, මගධ රටට අධිපති සේනා ඇති බිම්බිසාර රජුද පසේනදි කොසොල් රජුද යන මේ රජවරුන් දෙදෙනාගෙන් කවරෙක් වනාහි මහත්වූ ධන ඇත්තේද, මහත්වූ භොග ඇත්තේද, මහත්වූ කොටු ගුල් ඇත්තේද, මහත්වූ විජිතයන් ඇත්තේද, මහත්වූ වාහන ඇත්තේද, මහත්වූ බල ඇත්තේද, මහත්වූ සෘද්ධිය ඇත්තේද’ යනුවෙනි. ස්වාමීනි මේ අතුරු කථාව අවසන් නොවීය, එකල්හිම භාග්යවතුන් වහන්සේ වැඩිසේක.”
“මහණෙනි, ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ යුෂ්මතුනට මෙය සුදුසු නොවේ, යම් හෙයකින් යුෂ්මත්හු මෙබඳු කථා කියන්නහුද. රැස්වූ යුෂ්මතුන්ට වැඩ දෙකකි: දැහැමි කථාව හෝ ආර්ය්යවූ නිශ්ශබ්ද භාවයයි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්රීතිවාක්යය ප්රකාශකළසේක:
“ලෝකයෙහි යම් මානුෂික කාමසුවයක් ඇද්ද දිව්යකාම සුවයක් ඇද්ද, මේවා තෘෂ්ණාව දුරුකිරීමේ සැපයෙන් සොළොස්වන කලාව පමණකුත් නොවටියි.”
2. 3.
දණ්ඩ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි බොහෝ ළමයි සැවැත්නුවරටත් ජේතවනයටත් අතර ගරඬියෙකුට දණ්ඩෙන් හිංසා කරත්. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු රැගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසිසේක. සැවතටත් ජේතවනයටත් අතර බොහෝ ළමයින් දණ්ඩකින් ගැරඬියෙකුට හිංසාකරණු භාග්යවතුන් වහන්සේ දුටුසේක්මය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්ය ප්රකාශ කළ සේක:
“යමෙක් තමහට සුව කැමතිව, සැපය කැමති සතුන්ට දණ්ඩෙන් හිංසා කෙරේද හෙතෙම පරලොව සුව නොලබන්නේය.
යමෙක් තමහට සුව කැමතිව, සැපය කැමති සතුන්ට දණ්ඩෙන් හිංසා නොකෙරේද හෙතෙම පරලොව සුව ලබන්නේය.”