2. 1.
මුචලින්ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ-සම්‍යක් සම්බුද්ධවූයේ ප්‍රථම කොට උරුවේලාවෙහි නෙරඤ්ජරා ගංතෙර මිදෙල්ල ගසක් මුල වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සත් දිනක් නිවන් සුව විඳිමින් එක පළඟින් වැඩ සිටියේ වෙයි.
එකල්හි වනාහි ශීත වාත අඳුර ඇති සත් දවසක් වසින මහා අකාල වැස්සක් ඇතිවිය. ඉක්බිති මුචලින්ද නම් නා රජතෙම ස්වකීය භවනයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සත් වරක් දරණින් වටකොට: “භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා, උෂ්ණයක් නොවේවා, භාග්‍යවතුන් වහන්සේට ඩැහැලේ බොන මැස්සන්ගේද මදුරුවන්ගේද වාතය හා අව්වද, දීර්ඝ ජාතීන්ගේද, ස්පර්ශය නොවේවා”යි මත්තෙහි මුදුනෙහි මහත්වූ පෙණයක්ද ඇති කොට සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටිසේක.
ඉක්බිති මුචලින්ද නාග රජතෙම වැහිකළු පහව ගොස් වැස්ස නැවති ඇති බව දැන භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් දරණ ලිහා ස්වකීය වේසය වෙනස් කොට තරුණ වෙසක් මවා හිස නමා භාග්‍යවතුන් වහන්සේට වඳිමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක:
“චතුර් මාර්ග ඥාන සන්තොෂයෙන් සතුටුවූ තමාට ප්‍රකට වූ ලොවුතුරා දහම් ඇති නුවණැසින් උපධි විවේකය (නිවණ) බලන පුද්ගලයාට ඒ උපධි විවේකය සැපවේ. ලොව කිසිවකු කෙරෙහිත් නොකිපෙන බවද, සත්වාවිහිංසාවද සැපයි.
කාමාශාවෙන් වෙන්වීමවූ විරාගී බව (අනාගාමී බව) ද ලොව සැපෙකි. මම ශ්‍රේෂ්ඨවෙමියි යන ආදී වශයෙහිවූ අස්මි මානයාගේ විනාශය (රහත් බව) උසස්ම සැපයවේ.”
2. 2.
රාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුනාවූ සවස් වේලෙහි උපස්ථාන ශාලාවෙහි එක්වූ, රැස්වූ බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කථාවක් පහළ විය:
“ඇවැත්නි, මගධ රටට අධිපති සේනා ඇති බිම්බිසාර රජුද පසේනදි කොසොල් රජුද යන මේ රජවරුන් දෙදෙනාගෙන් කවරෙක් වනාහි මහත්වූ ධන ඇත්තේද, මහත්වූ භොග ඇත්තේද, මහත්වූ කොටු ගුල් ඇත්තේද, මහත්වූ විජිතයන් ඇත්තේද, මහත්වූ වාහන ඇත්තේද, මහත්වූ බල ඇත්තේද, මහත්වූ සෘද්ධිය ඇත්තේද” යනුවෙනි. එකල්හි ඒ භික්ෂූන්ගේ අතුරු කථාව අවසන් නොවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටිසේක් උපස්ථාන ශාලාව යම්තැනකද එතැනට වැඩිසේක. වැඩ පනවනලද අස්නෙහි වැඩසිටිසේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි දැන් රැස්ව කවර කථාවකින් යුක්තව සිටියහුද, කවර අතුරුකථාවක් ඉතිරිවීදැයි” විචාළසේක.
“ස්වාමීනි මෙහි පිණ්ඩපාතයෙන් වැලකුණ සවස් කාලයෙහි එක්වූ රැස්වූ අප අතර මේ අතුරු කථාවක් පහළවිය: ‘ඇවැත්නි, මගධ රටට අධිපති සේනා ඇති බිම්බිසාර රජුද පසේනදි කොසොල් රජුද යන මේ රජවරුන් දෙදෙනාගෙන් කවරෙක් වනාහි මහත්වූ ධන ඇත්තේද, මහත්වූ භොග ඇත්තේද, මහත්වූ කොටු ගුල් ඇත්තේද, මහත්වූ විජිතයන් ඇත්තේද, මහත්වූ වාහන ඇත්තේද, මහත්වූ බල ඇත්තේද, මහත්වූ සෘද්ධිය ඇත්තේද’ යනුවෙනි. ස්වාමීනි මේ අතුරු කථාව අවසන් නොවීය, එකල්හිම භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක.”
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ යුෂ්මතුනට මෙය සුදුසු නොවේ, යම් හෙයකින් යුෂ්මත්හු මෙබඳු කථා කියන්නහුද. රැස්වූ යුෂ්මතුන්ට වැඩ දෙකකි: දැහැමි කථාව හෝ ආර්‍ය්‍යවූ නිශ්ශබ්ද භාවයයි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක:
“ලෝකයෙහි යම් මානුෂික කාමසුවයක් ඇද්ද දිව්‍යකාම සුවයක් ඇද්ද, මේවා තෘෂ්ණාව දුරුකිරීමේ සැපයෙන් සොළොස්වන කලාව පමණකුත් නොවටියි.”
2. 3.
දණ්ඩ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි බොහෝ ළමයි සැවැත්නුවරටත් ජේතවනයටත් අතර ගරඬියෙකුට දණ්ඩෙන් හිංසා කරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසිසේක. සැවතටත් ජේතවනයටත් අතර බොහෝ ළමයින් දණ්ඩකින් ගැරඬියෙකුට හිංසාකරණු භාග්‍යවතුන් වහන්සේ දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ සේක:
“යමෙක් තමහට සුව කැමතිව, සැපය කැමති සතුන්ට දණ්ඩෙන් හිංසා කෙරේද හෙතෙම පරලොව සුව නොලබන්නේය.
යමෙක් තමහට සුව කැමතිව, සැපය කැමති සතුන්ට දණ්ඩෙන් හිංසා නොකෙරේද හෙතෙම පරලොව සුව ලබන්නේය.”