1. 8.
සංගාමජි සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියේ වෙයි. ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ‘සංගාමජි ආර්යයතෙමේ සැවැත් නුවරට පැමිණියේයයි’ ඇසුවාය. ඕතොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියාය.
ඒ කාලයෙහි ආයුෂ්මත් සංගාමජිතෙමේ එක්තරා ගසක් යට දවල් කාලයෙහි සිටියේ විය. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජි යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ ආයුෂ්මත් සංගාමජිට, ‘ශ්‍රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්‍ය කරවයි’ කීවාය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ නිශ්ශබ්ද විය.
දෙවනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජිට, ‘ශ්‍රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්‍ය කරවයි’ කීවාය. දෙවනුවත් ආයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය. තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජිට, ‘ශ්‍රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්‍ය කරවයි’ කීවාය. තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය.
ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ඒ දරුවා ආයුෂ්මත් සංගාමජි ඉදිරියෙහි ‘ශ්‍රමණය මේ තෙම තොපගේ පුත්‍රයාය, ඔහු පොෂ්‍ය කරවයි’ දමාගියාය. එසේ කියා (ඈ) නික්ම ගියාය.
2. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිතෙමේ ඒ දරුවා නොබැලීය. කථා නොකෙළේය. ඉක්බිති අයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව නුදුරක් ගොස් බලන්නී ආයුෂ්මත් සංගාමජි ඒ දරුවා නොබලන්නාහු කථා නොකරන්නාහු දැක්කාය. දැක ‘මේ ශ්‍රමණ තෙමේ පුත්‍රයාගේ ප්‍රයෝජන නැත්තෙකැයි’ ඈට මේ සිත විය. එතැනින් හැරී ඇවිත් දරුවා ගෙන ගියාය. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාවගේ මෙබඳු විපර්යාසය මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් දුටු සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක:
“එන තැනැත්තියට සතුටු නොවෙයි. යන තැනැත්තියට ශොක නොකරයි.
ඇලීමෙන් සංගාමජි මිදුනේය. මම ඔහුට බමුණායයි කියමි.”
1. 9.
ජටිල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයාවෙහි ගයාව ඉස්මත්තෙහි වාසය කරණ සේක. ඒ කාලයෙහි බොහෝ ජටිලයෝ හිම වැටෙන කාලයෙහි නවන් මැදින් දෙමස අතරෙහිවූ දවස් අටෙහි සීතලවූ හිම වැටෙන රාත්‍රීන්හි ගයා තොටුපලෙහි (දියෙහි) මෙයින් පිරිසිදු බව වේයයි මතුවීමද කිමිදීමද මතුවීම කිමිදීමද කරත්. වතුරද ඉසිත් ගිනිද පුදත්, ‘මේ මගින් ශුද්ධිය වේ’ යැයි සිතමින්.
භාග්‍යවතුන් වහන්සේ හිමවැටෙන කාලයෙහි නවම් මැදින් දෙමස අතරෙහිවූ දවස් අටෙහි සීතලවූ හිම වැටෙන රාත්‍රීන්හි ගයා තොටුපලෙහි (දියෙහි) මෙයින් පිරිසිදු බව වේයයි මතුවීමද කිමිදීමද මතුවීම කිමිදීම කරන්නාවූද, වතුර ඉසින්නාවූද ගිනි පුදන්නාවූද, ‘මේ මගින් ශුද්ධිය වේ’ යැයි සිතන්නාවූ ඒ බොහෝ ජටිලයන් දුටු සේක්මය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක:
“උදකයෙන් (ජලයෙන්) පිරිසිදු වූවෙක් නොවේ, මෙහි බොහෝ දෙනා නාති,
යමෙකු කෙරෙහි සත්‍යයද ධර්මයද ඇත්නම් හෙතෙම පිරිසුදුය. හෙතෙම බ්‍රාහ්මණද වේ.”