1. 5.
බ්රාහ්මණ සූත්රය
මේ සූත්රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහ මුගලන් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කාස්සප තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා කච්චායන තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කොට්ඨිත තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කප්පින තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා චුන්ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ අනුරුද්ධ තෙරුන් වහන්සේද, ඇවැත්වූ රේවත තෙරුන් වහන්සේද, ඇවැත්වූ නන්ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ ආනන්ද තෙරුන් වහන්සේද, භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. භාග්යවතුන් වහන්සේ එන්නාවූ ඒ තෙරුන් වහන්සේලා දුරදීම දැකී සේක්මය. දැක භික්ෂූන් ඇමතු සේක. “මහණෙනි, බ්රාහ්මණවූ ඔවුහු එන්නාහ. මහණෙනි, බ්රාහ්මණවූ ඔවුහු එන්නාහ” යනුවෙනි.
මෙසේ වදාළ කල්හි එක්තරා බ්රාහ්මණ ජාතික භික්ෂු නමක් භාග්යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, කරුණු කීයකින් බ්රාහ්මණයෙක් වේද, කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළ සේක.
බාහිත්වා පාපකෙ ධම්මෙ යෙ චරන්ති සදා සතා,
ඛීණසංයොජනා බුද්ධා තෙ වෙ ලොකස්මි බ්රාහ්මණා’ති.
(යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්ය්ය සත්යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්රාහ්මණයෝ වෙති.)
ඛීණසංයොජනා බුද්ධා තෙ වෙ ලොකස්මි බ්රාහ්මණා’ති.
(යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්ය්ය සත්යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්රාහ්මණයෝ වෙති.)
1. 6.
මහාකස්සප සූත්රය
මේ සූත්රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ලෙහෙනුන්ට අහාර දුන් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුක්වූයේ දැඩි ගිලන් බැව් ඇත්තේ පිප්ඵලී ගුහාවෙහි වාසය කරයි. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ පසු කාලයක ඒ ආබාධයෙන් නැගිට්ටේය.
ඒ ආබාධයෙන් නැගිටි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට මේ අදහස විය. ‘මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් යෙහෙක,’ යනුවෙනි.
එකල්හි වනාහි පන්සියයක් දේවතාවෝ ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට පිණ්ඩපාතය දීම ලැබීමට උද්යෝගවත් වූහ.
ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ ඒ පන්සියයක් දෙවියන් බැහැර කොට පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන රජගහ නුවර දිළින්දන්ගේ විථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදි වියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසුරුන සේක.
රජගහ නුවර දිළින්දන්ගේ වීථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදිවියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසිරෙන ඇවැත්වූ මහකසුප් තෙරුන් භාග්යවතුන් වහන්සේ දැකි සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළ සේක.
අන්යයන් පොෂණය නොකරන්නාවූ ආර්යය සත්යය දත් දැමුන, සාරයෙහි පිහිටි, නැතිකළ කෙලෙස් ඇති, වමාරා දැමූ කෝපය ඇති, ඔහු මම බ්රාහ්මණයා යයි කියමි.
1. 7.
පාවා සූත්රය
මේ සූත්රය මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ පාවා නුවර අජ කලාපක චෛත්යස්ථානයෙහි අජ කලාපක නම් යක්ෂයාගේ භවනයෙහි වැඩ වසනසේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ රෑ අඳුරු කළුවරෙහි එළිමහන් තැනක වැඩ සිටියේ වෙයි. වැසි පොදද එක දෙක වැටෙයි. ඉක්බිති අජ කලාපක යක්ෂතෙම භාග්යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමු ඩැහැගැන්ම, උපදවනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේට නුදුරෙහි “අක්කුලය, පක්කුලය, අක්කුල, පක්කුලය”යි තුන් වරක් ශබ්ද නැගීය, “ශ්රමණය මේ පිසාචයෙක්යයි” කීයේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළසේක.
යම් කලෙක බ්රාහ්මණතෙම ස්වකීය ධර්මයන්හි පරතෙරට ගියේ වේද එකල්හි මේ “පිසාචයාද, පක්කුල හඬද” ඉක්ම පවතියි.
1. 8.
සංගාමජි සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ භාග්යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියේ වෙයි. ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ‘සංගාමජි ආර්යයතෙමේ සැවැත් නුවරට පැමිණියේයයි’ ඇසුවාය. ඕතොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියාය.
ඒ කාලයෙහි ආයුෂ්මත් සංගාමජිතෙමේ එක්තරා ගසක් යට දවල් කාලයෙහි සිටියේ විය. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජි යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ ආයුෂ්මත් සංගාමජිට, ‘ශ්රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්ය කරවයි’ කීවාය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ නිශ්ශබ්ද විය.
දෙවනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජිට, ‘ශ්රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්ය කරවයි’ කීවාය. දෙවනුවත් ආයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය. තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජිට, ‘ශ්රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්ය කරවයි’ කීවාය. තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය.
ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ඒ දරුවා ආයුෂ්මත් සංගාමජි ඉදිරියෙහි ‘ශ්රමණය මේ තෙම තොපගේ පුත්රයාය, ඔහු පොෂ්ය කරවයි’ දමාගියාය. එසේ කියා (ඈ) නික්ම ගියාය.