1. 10.
බාහිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක.
ඒ කාලයෙහි බාහිය දාරුචීරිය සුප්පාරක තොටෙහි මුහුදු වෙරළහි වාසය කරයි. සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පුදන ලද්දේ, ගෞරව කරන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු දවස විය. ඉක්බිති බාහිය දාරුචීරියට විවේකයට ගියාවූ හෝ රහසිගතවූ කල්හි “ලෝකයෙහි රහත්වූ හෝ රහත් මාර්ගයට බැස්ස යෙම් කෙනෙක් ඇත්ද, ඔවුන් අතරින් මමත් කෙනෙක්මියි” මෙසේ සිතට අදහසක් ඇතිවිය.
ඉක්බිති බාහිය දාරුචීරිය හිතවත් යහපත කැමති පැරණි සහලේ නෑ දෙවතාවෙක් බාහිය දාරුචීරියගේ සිත තම සිතින් දැන බාහිය දාරුචීරිය යම් තනෙක්හීද එහි පැමිණියේය. පැමිණ, බාහිය දාරුචීරියට “බාහිය ඔබ රහත්වී නැත. රහත් මාර්ගයට පැමිණවත් නැත. යමකින් ඔබ රහත් කෙනෙකු හෝ රහත් මගට පිළිපන් කෙනෙකු වන්නේද ඒ පිළිපැදීමද ඔබට නැතැයි” කීයේය. “දෙවතාව, එසේ වීනම් ලෝකයෙහි කවරෙක් රහත්ද රහත් මගට පිළිපන්නේදැයි?” “බාහිය උතුරු ජනපදයන්හි, සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩවසන සේක. බාහිය, ඒ භාග්‍යවතුන් වහන්සේ රහත්වූයේද රහත් බව පිණිසද බණ කියයි.”
ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ දෙවතාවා විසින් සංවේග කරවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය. ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කරත්, ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ භික්‍ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන් වෙතින් “ස්වාමීනි අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වසන සේක්ද? අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෝ වෙමුයි” ඇසුවේය. “බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුල්ගමට වැඩි සේක.”
2. ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ වහා ජේතවනයෙන් නික්ම සැවැත් නුවරට ඇතුල්වී සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන පැහැදීම ඇති කරණ, පැහැදිය යුතු සන්සුන් ඉඳුරන් ඇති තැන්පත් සිත් ඇති, උතුම් ආත්ම දමනයට චිත්ත දමනයට පැමිණි, දැමුණු, රැකුණු, ඉන්‍ද්‍රිය සංවරයට පැමිණි උත්තමයාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පාමුල හිස තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය දෙසන සේක්වා, සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වායි’ කීයේය.
මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට “බාහිය නොකල්ය. පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියෙමියි” වදාළසේක.
දෙවනුවත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ වේද, මෙය සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වා.”
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට “බාහිය, මේ නොකල්ය. පිඬු පිණිස ඇතුළුගමට පිවිසියෙමියි” වදාළසේක.
තුන්වෙනුවත් බාහිය දාරුචීරිය තවුසා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වා” යි කීවේය.
එසේ වීනම් බාහිය, තොප විසින් මෙහි මෙසේ හික්මීය යුතුය: “දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක් වන්නේය, ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රයක් වන්නේය, දැනුනු දෙයෙහි දැනුනු මාත්‍රයක් වන්නේය, දැනගත් දෙයෙහි දැනගත් මාත්‍රයක් වන්නේය.” බාහිය, ඔබ විසින් මෙසේ හික්මිය යුතුය.
යම් කලෙක බාහිය, තොපට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රයක්ම වෙයිද, ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රයක්ම වෙයිද, දැනුනු දෙයෙහි දැනුනු මාත්‍රයක්ම වෙයිද, දැනගත් දෙයෙහි දැනගත් මාත්‍රයක්ම වෙයිද, එකල්හි බාහිය, ඔබ ඉන් (රාගාදියෙන්) නොවේ. යම් කලෙක බාහිය, ඔබ ඉන් නොවේද, එකල්හි බාහිය, ඔබ එහි (රාගාදියෙහි) නොවේ. යම් කලෙක බාහිය, ඔබ එහි නොවේද, එකල්හි බාහිය, ඔබ මෙහි (මෙලොව) නොවේ. පරලොව නොවේ. මේ දෙක අතරෙහි නොවේ. මෙයම දුකේ අවසානයයි.”
3. ඉක්බිති බාහිය දාරුචීරියට භාග්‍යවතුන් වහන්සේගේ මේ ලුහුඬින් කළ ධර්ම දේශනාවෙන් එකෙණෙහිම උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් සිත මිදුනේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට මේ ලුහුඬු අවවාදයෙන් අවවාද කොට වැඩිසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් බාහිය දාරුචීරිය වසු පැටවෙක් ඇති දෙනක් ඇවිත් (ඇන) ජීවිතයෙන් තොර කළාය.