7. 3.
189. “සිහියෙන් යුක්තවූ නුවණ ඇස ඇත්තාවූ මඩනලද ඉන්ද්‍රියයන් ඇත්තාවූ, භික්ෂුණිතොම මහා පුරුෂයන් විසින් සෙව්නා ලද නිර්වාණපදය අවබෝධ කෙළේයි.
190. “කුමක් හෙයින් ඉපදීම රුචි නොකෙළෙහිද? උපන්නේ පස්කම් සැප අනුභව කෙරෙයි. කාමරතීන් අනුභව කරව. පසුතැවිලි නොවෙව.
191. “උපන්නාට මරණය වෙයි. උපන්නේ අත් පා කන් නාසාදිය කැපීමවූ වධදීම්, සිර කිරීම්, ගහට යුත් දුකට පැමිණෙයි.
192. “ශාක්‍ය කුලයෙහි උපන් නොපරදවන ලද්දාවූ සම්බුද්ධ කෙනෙක් ඇත. උන්වහන්සේ මට ජාතිය ඉක්මවන ධර්මය දෙසූසේක.
193. “දුක්ය, දුක් හටගැනීමය. දුක් ඉක්මවීමය. දුක් නසන මෘදුවූ ආර්යෂ්ටාංගික මාර්ගය (දේශනා කළ සේක).
194. “මම උන්වහන්සේගේ ධර්ම කථාව අසා සස්නෙහි ඇලීවාසය කෙළෙමි. තුන් නුවණ ලබන ලදී. සර්වඥ වචනය කරණලදී.
195. “සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරු කඳ දුරලන ලදී. මාරය, එසේ දනුව, මාරය, තෝ නසන ලද්දෙහිය.”
මෙසේ උපචාලා ථෙරී ගාථාවන් දෙසුවාය.
උපචාලා ථේරී ගාථා
සත්තකනිපාතො නිට්ඨිතො.
8. අට්ඨක නිපාතය
8. 1.
196. “ශීලයෙන් යුත් සංවරවූ ඉඳුරන් ඇති භික්ෂුණිතොම ස්වභාවයෙන් මධුරවූ, නිර්වාණ පදයට පැමිණෙයි.
197. “නුඹ පෙර විසූ තාවතිංස, යාම, තුසිත, නිර්මාණරතී පරනිර්මිත නම් දිව්‍ය භවනයක්වේද, එහි සිත පිහිටුවව.
198. “තාවතිංස, යාම, තුසි, නිර්මාණරතී, පරනිර්මිත යන දෙව්ලෝ වැසි යම් දෙවියෝ විය.
199. “සිය කයෙහි පිහිටවූවාහු සිය කය නොඉක්මවූවාහු ඔහු කලින් කල භවයට පැමිණීමෙන් ජාති මරණයට පැමිණීමෙනි.
200. “සියළු ලෝකය ඇවිලගත්තේය. සියළු ලොව තදින් ඇවිල ගත්තේය. සියල්ල තදින් ඇවිල සිටියි. සියළු ලෝකය තදින් කම්පා වෙයි.
201. “සෙලැවිය නොහැකි අසමානවූ, පෘථග්ජන නොවූවන් සේවනය කළ ධර්මයක් බුදුහු දෙසූද එහි මා සිත ඇළුනේය.
202. “මම උන්වහන්සේගේ වචනය අසා සස්නෙහි ඇලී විසීමි. තුන් නුවණ ලබනලදී. බුද්ධානුශාසනය කරණලදී.
203. “සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරුකඳ පළන ලදී. මාරය, එසේ දනුව. මාරය, තෝ නසන ලද්දෙහිය.”
මෙසේ සීසූපචාලා තෙරණිය ගාථා වදාළාය.
සීසූපචාලා ථේරී ගාථා
අට්ඨක නිපාතය නිමියේය.