8. අට්ඨක නිපාතය
8. 1.
196. “ශීලයෙන් යුත් සංවරවූ ඉඳුරන් ඇති භික්ෂුණිතොම ස්වභාවයෙන් මධුරවූ, නිර්වාණ පදයට පැමිණෙයි.
197. “නුඹ පෙර විසූ තාවතිංස, යාම, තුසිත, නිර්මාණරතී පරනිර්මිත නම් දිව්‍ය භවනයක්වේද, එහි සිත පිහිටුවව.
198. “තාවතිංස, යාම, තුසි, නිර්මාණරතී, පරනිර්මිත යන දෙව්ලෝ වැසි යම් දෙවියෝ විය.
199. “සිය කයෙහි පිහිටවූවාහු සිය කය නොඉක්මවූවාහු ඔහු කලින් කල භවයට පැමිණීමෙන් ජාති මරණයට පැමිණීමෙනි.
200. “සියළු ලෝකය ඇවිලගත්තේය. සියළු ලොව තදින් ඇවිල ගත්තේය. සියල්ල තදින් ඇවිල සිටියි. සියළු ලෝකය තදින් කම්පා වෙයි.
201. “සෙලැවිය නොහැකි අසමානවූ, පෘථග්ජන නොවූවන් සේවනය කළ ධර්මයක් බුදුහු දෙසූද එහි මා සිත ඇළුනේය.
202. “මම උන්වහන්සේගේ වචනය අසා සස්නෙහි ඇලී විසීමි. තුන් නුවණ ලබනලදී. බුද්ධානුශාසනය කරණලදී.
203. “සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරුකඳ පළන ලදී. මාරය, එසේ දනුව. මාරය, තෝ නසන ලද්දෙහිය.”
මෙසේ සීසූපචාලා තෙරණිය ගාථා වදාළාය.
සීසූපචාලා ථේරී ගාථා
අට්ඨක නිපාතය නිමියේය.
9. නවක නිපාතය
9. 1.
204. “වඞ්ඪය, ලෝකයෙහි තෘෂ්ණාව තට නොවේවා. පුත්‍රය, නැවත නැවත දුකෙහි කොටස් කරුවෙක් නොවේවා.
205. “වඞ්ඪය, තෘෂ්ණා නැති සැක නැති සිහිල්වූ දමනයවූ පව්හළ මුනීහු සැපසේ වෙසෙති.
206. “වඞ්ඪය, නුඹ ඒ ඍෂීන් විසින් පුරුදු කළ මග දැකීම් පිණිසද දුක් කෙළවර කිරීම් පිණිසද වඩව.
207. “මාගේ මෑණිතොම නිර්භය සේ මේ අවවාදය කියයි. මා කෙරෙහි තව ඇළුම් මාත්‍රයකුත් නැතැයි ඒකාන්තයෙන් සිතමි.
208. “වඞ්ඪය, හීන, උසස්, මැදි ස්වල්පමාත්‍රවූද සංස්කාරයකුත් මට නැත. ස්වල්පවූද තෘෂ්ණාවක් මට නැත.
209. “අලස නොව ධ්‍යාන කරන්නාවූ මාගේ සියළු පව් ගෙවිණ. තුන් නුවණ ලබන ලදී. බුද්ධාවවාදය කෙළෙමි.
210. “අනුකම්පා ඇති මාගේ මෑණිතොම පරමාර්ථ සහිත ගාථා නමැති කෝටුවෙන් සිහි ගැන්විය.
211. “මම ඒ මවගේ අවවාද වචන අසා නිර්වාණය ලැබීම පිණිස ධර්ම සංවේගයට පැමිණියෙමි.
212. “මව විසින් මෙහෙයන ලද ඒ මම රෑ දවල්හි නොඅලස්ව වීර්ය කිරීමෙහිදු සිත් ඇතිව උතුම් ශාන්තිය ස්පර්ශ කෙළෙමි.”
මෙසේ වඩ්ඪමාතා තෙරණිය ගාථා වදාළාය.
වඞ්ඪමාතා ථේරී ගාථා
නවක නිපාතය නිමියේය.