7. 2.
182. “සිහිය මනාව පිහිටුවා වඩනලද ඉන්ද්‍රිය ඇත්තාවූ භික්ෂුණිතොම සියළු සංස්කාරයන් සන්සිඳුනු සැපවූ නිවන් පදය අත්කෙළේය.
183. “කවරකු උදෙසා කෙස් මුඩු කෙළෙහිද? මෙහෙණියක මෙන් පෙණෙහිද, පාසාණ්ඩයන් රුචි නොකෙරෙහිද, මේ කුමකට මුළාව හැසිරෙහිද?
184. “මින් බැහැරවූ පාසාණ්ඩවයෝ දෘෂ්ටීන් ඇසුරු කරති. ඔහු ධර්මය නොදනිති. ධර්මයෙහිත් දක්ෂයෝ නොවෙති.
185. “ශාක්‍ය වංශයෙහි උපන් කෙනෙකු හා සම නොවන බුදුවරයෙක් ඇත. හේ සියළු දෘෂ්ටීන් ඉක්මවන ධර්මය මට දෙසූහ.
186. “දුක්ය. දුක් හටගැන්මය දුක් නැතිකිරීමය. දුක් නැතිකිරීමේ උපායවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද (වදාළ සේක).
187. “ඒ මම උන්වහන්සේගේ වචනය අසා සස්නෙහි ඇලී වාසය කෙළෙමි. තුන් නුවණ ලබනලදී. සර්වඥ ශාසනය කරණලදී.
188. “සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරු රැසද පලන ලදී. මාරය එසේ දනුව, මාරය, තෝ නසන ලද්දෙහිය.”
මෙසේ චාලා ථෙරී ගාථාවන් දෙසුවාය.
චාලා ථේරී ගාථා
7. 3.
189. “සිහියෙන් යුක්තවූ නුවණ ඇස ඇත්තාවූ මඩනලද ඉන්ද්‍රියයන් ඇත්තාවූ, භික්ෂුණිතොම මහා පුරුෂයන් විසින් සෙව්නා ලද නිර්වාණපදය අවබෝධ කෙළේයි.
190. “කුමක් හෙයින් ඉපදීම රුචි නොකෙළෙහිද? උපන්නේ පස්කම් සැප අනුභව කෙරෙයි. කාමරතීන් අනුභව කරව. පසුතැවිලි නොවෙව.
191. “උපන්නාට මරණය වෙයි. උපන්නේ අත් පා කන් නාසාදිය කැපීමවූ වධදීම්, සිර කිරීම්, ගහට යුත් දුකට පැමිණෙයි.
192. “ශාක්‍ය කුලයෙහි උපන් නොපරදවන ලද්දාවූ සම්බුද්ධ කෙනෙක් ඇත. උන්වහන්සේ මට ජාතිය ඉක්මවන ධර්මය දෙසූසේක.
193. “දුක්ය, දුක් හටගැනීමය. දුක් ඉක්මවීමය. දුක් නසන මෘදුවූ ආර්යෂ්ටාංගික මාර්ගය (දේශනා කළ සේක).
194. “මම උන්වහන්සේගේ ධර්ම කථාව අසා සස්නෙහි ඇලීවාසය කෙළෙමි. තුන් නුවණ ලබන ලදී. සර්වඥ වචනය කරණලදී.
195. “සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරු කඳ දුරලන ලදී. මාරය, එසේ දනුව, මාරය, තෝ නසන ලද්දෙහිය.”
මෙසේ උපචාලා ථෙරී ගාථාවන් දෙසුවාය.
උපචාලා ථේරී ගාථා
සත්තකනිපාතො නිට්ඨිතො.