6. 2.
133. “පුත්‍ර ශෝකයෙන් පීඩිතවූවා අවුල් සිත් ඇත්තී එයින්ම පිරිසිදු සිහිනැත්තී නිර්වස්ත්‍රවූවා විසිරුණු කෙස් ඇත්තී මම තැනින් තැන හැසුරුණෙමි.
134. “කසල ගොඩවලද, සොහොනෙහිද, වීථිවලද විසීමි. බඩසා පවසින් පෙළෙමින් තෙවසක් හැසුරුණෙමි.
135. “නොදැමුණවුන් දමනය කරවා සියල්ල දත් කිසිවකින් භයක් නැත්තාවූ, ශොභන ගමන් ඇත්තාවූ මිථිලාව බලා වඩින්නාවූ බුදුන් දුටිමි.
136. “ප්‍රකෘති සිහිකල්පනා ලැබ වැඳ උන්වහන්සේ වෙතට පැමිණියෙමි. ඒ ගෞතමයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූසේක.
137. “උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි මහණවීමි. බුදුන්ගේ වචනයෙහි යෙදී නිර්වාණ පදය අත්කෙළෙමි.
138. “මේ අන්තකොට ඇත්තාවූ සියළු ශෝකයෝ සිඳින ලදහ. යමෙකින් ශෝකයන්ගේ පහළවීම වේද, ඒ වස්තුව මා විසින් පිරිසිඳ දන්නාලදී.”
මෙසේ වාසෙට්ඨි ථෙරී ගාථාවන් දෙසුවාය.
වාසෙට්ඨි ථේරී ගාථා
6. 3.
139. “නුඹත් රූමත් තරුණියෙකි. මම ඒ එසේම පැහැපත් තරුණයෙකි. පසඟතුරු වැයුමෙන් යුක්තව සිත් අලවමු. ඛෙමාවෙනි එන්න.
140. “ලෙඩවූ වහා බිඳෙනසුළුවූ කුණු කය කරණකොට ගෙන පීඩාවෙමි. ලජ්ජාවෙමි. කාම තෘෂ්ණාව නසනලදී.
141. “කාමයෝ ශරීරයන් බිඳීමට සැතක් හා හුලක් වැනියහ. තා කියන කාමරතිය මට නම් දැන් අරතියෙකි.
142. “සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පලන ලදී. වාමකය, තෝ නසනුලැබීය. මෙසේ දනුව.
143. “අඥාණයෝ චන්ද්‍ර සූර්යාදී තාරකාවන්ට වඳිමින් වනයෙහි ගිනි දෙවියන් පුදමින් තත්වාකාරය නොදැන සුද්ධිය නොදනිත්.
144. “මමද පුරුෂොත්තමවූ සම්බුදුන් වඳිමින් සියලු දුකින් මිදුනෙමි. ශාස්තෘ ශාසනය කරන්නියක් වීමි.”
මෙසේ ඛෙමා ථෙරී ගාථාවන් දෙසුවාය.
ඛෙමා ථේරී ගාථා
6. 4.
145. “අලංකාරව, මහඟු වස්ත්‍ර හැඳ, මල්දම් පැළඳ, සඳුන් හා සියළු ආභරණයන් ගවසා දාසී සමූහයා පිරිවරණ ලදුව,
146. “බොහෝ ආහාරද, ඛාද්‍යයද භොජ්‍යයද ගෙන්වා ගෙණ ගෙයින් නික්ම උයනට පැමිණියෙමි.
147. “ඒ උයනෙහි සිත් අලවා, සෙල්ලම්කර සිය ගෙට එන්නී. සාකේත නුවර අඤ්ජන වන විහාරය බලන්නට පිවිසියෙමි.
148. “එහි වැඩහුන් ලොවට පහනක්වූ සර්වඥයන් වහන්සේ දැක වැඳ උන්වහන්සේ වෙතට පැමිණියේය. ඒ ඇස් ඇති සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට ධර්ම දේශනා කළසේක.
149. “මහර්ෂිවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සත්‍යයන් තේරුම් ගතිමි. එහිදීම පහවූ රාග රජස් ඇති නිර්වාණ පදය ස්පර්ශ කෙළෙමි.
150. “ඉන්පසු දහම්දත් මම සර්වඥ ශාසනයෙහි පැවිදිවීමි. තුන් දැකීමට පැමිණියා, සර්වඥ ශාසනය නොසිස්කොට දකිමි.
මෙසේ සුජාතා ථෙරී ගාථාවන් දෙසුවාය.
සුජාතා ථේරී ගාථා