6. 3.
139. “නුඹත් රූමත් තරුණියෙකි. මම ඒ එසේම පැහැපත් තරුණයෙකි. පසඟතුරු වැයුමෙන් යුක්තව සිත් අලවමු. ඛෙමාවෙනි එන්න.
140. “ලෙඩවූ වහා බිඳෙනසුළුවූ කුණු කය කරණකොට ගෙන පීඩාවෙමි. ලජ්ජාවෙමි. කාම තෘෂ්ණාව නසනලදී.
141. “කාමයෝ ශරීරයන් බිඳීමට සැතක් හා හුලක් වැනියහ. තා කියන කාමරතිය මට නම් දැන් අරතියෙකි.
142. “සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පලන ලදී. වාමකය, තෝ නසනුලැබීය. මෙසේ දනුව.
143. “අඥාණයෝ චන්ද්ර සූර්යාදී තාරකාවන්ට වඳිමින් වනයෙහි ගිනි දෙවියන් පුදමින් තත්වාකාරය නොදැන සුද්ධිය නොදනිත්.
144. “මමද පුරුෂොත්තමවූ සම්බුදුන් වඳිමින් සියලු දුකින් මිදුනෙමි. ශාස්තෘ ශාසනය කරන්නියක් වීමි.”
මෙසේ ඛෙමා ථෙරී ගාථාවන් දෙසුවාය.
ඛෙමා ථේරී ගාථා
6. 4.
145. “අලංකාරව, මහඟු වස්ත්ර හැඳ, මල්දම් පැළඳ, සඳුන් හා සියළු ආභරණයන් ගවසා දාසී සමූහයා පිරිවරණ ලදුව,
146. “බොහෝ ආහාරද, ඛාද්යයද භොජ්යයද ගෙන්වා ගෙණ ගෙයින් නික්ම උයනට පැමිණියෙමි.
147. “ඒ උයනෙහි සිත් අලවා, සෙල්ලම්කර සිය ගෙට එන්නී. සාකේත නුවර අඤ්ජන වන විහාරය බලන්නට පිවිසියෙමි.
148. “එහි වැඩහුන් ලොවට පහනක්වූ සර්වඥයන් වහන්සේ දැක වැඳ උන්වහන්සේ වෙතට පැමිණියේය. ඒ ඇස් ඇති සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට ධර්ම දේශනා කළසේක.
149. “මහර්ෂිවූ භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා සත්යයන් තේරුම් ගතිමි. එහිදීම පහවූ රාග රජස් ඇති නිර්වාණ පදය ස්පර්ශ කෙළෙමි.
150. “ඉන්පසු දහම්දත් මම සර්වඥ ශාසනයෙහි පැවිදිවීමි. තුන් දැකීමට පැමිණියා, සර්වඥ ශාසනය නොසිස්කොට දකිමි.
මෙසේ සුජාතා ථෙරී ගාථාවන් දෙසුවාය.
සුජාතා ථේරී ගාථා
6. 5.
151. “බොහෝ සම්පත් ඇති මහත් ධන ඇති උසස්වූ කුලයෙක උපන්නෙමි. පැහැයෙන් රූපයෙන් සම්පූර්ණවූ මම මේඝ නම් සිටුහට දුවක් වීමි.
152. “රාජපුත්රයන් විසින් පතනලදුව, සිටුපුත්රයන් විසින් කැමතිව මට අනොපමාව රඳවයි කියා මපියාණන් වෙතට දූතයන් එවූහ.
153. “ඔබේ දූ වූ මේ අනොපමාව යම් පමණකට කිරා බැලීමෙන් බරද, ඉන් අටගුණයක් රන් මැණික් දෙමි.”
154. “ඒ මම ලොවට උසස්වූ අත්යුත්තම බුදුන් දැක ඒ බුදුන්ගේ සිරි පතුල් වැඳ එකත්පසෙක හුන්නෙමි.
155. “ඒ ගෞතම සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූ සේක. හුනස්නෙහිම අනාගාමී ඵලය ලදිමි.
156. “ඉන්පසු ඉස කෙස් කපාහැර සස්නෙහි පැවිදිවීමි යමකින් තෘෂ්ණාව වියලා අද මේ සත්වන රැය වෙයි.”
මෙසේ අනොපමා ථෙරී ගාථාවන් දෙසුවාය.
අනොපමා ථේරී ගාථා
6. 6.
157. “යමෙක් මා සසර දුකින් මිදූද, අන්ය සත්වයිනුත් සසර දුකින් මිදූද, සියළු සත්වයන්ට උතුම්වූ බුද්ධ වීරයන්වහන්ස, ඒ ඔබට නම ස්කාරය වේවා,
158. “සියළු දුක මා දැනිණි, සසරට හේතුවූ තෘෂ්ණාව වියලනලදී. ආර්ය අෂ්ටාංගිකමාර්ගවූ නිවන ස්පර්ශ කළාය.
159. “පෙර මවුව, පුත්ව, පියාව, සහෝදරයාව පසුව මිත්තණියද විය. මෙලෙස ඇත්ත නොදැන නොලැබ සසර සැරීමි.
160. “මා විසින් ඒ භාග්යවතුන් වහන්සේ දක්නාලදී. මේ අන්තිම ශරීරයයි. ඉපදෙමින් හැසිරීම ක්ෂය විය. දැන් මතු ඉපදීමක් නැත.
161. “පටන්ගත් වීර්ය ඇති. කර්ම ක්ෂය කළ දැඩි පැරකුම් ඇති සමගිවූ ශ්රාවක සමූහයා දක්නෙම්ද, මේ බුදුවරයන්ට කරණ වන්දනාය.
162. “මහාමායා දේවීතොම බොහෝදෙනාට ඒකාන්ත වැඩ පිණිස ගෞතමයන් ඉපදවී, උන්වහන්සේ ව්යාධි මරණ වෙළුණවුන්ගේ දුක්ඛ රාශිය දුරුකළසේක.”
මෙසේ මහාපජාපතිගොතමී ථෙරී ගාථාවන් දෙසුවාය.
මහාපජාපතීගොතමී ථෙරී ගාථා