5. 9.
107. ඉගුලු හිසකෙහෙ ඇති, දත් මල දරන්නාවූ එක් සළුවක්ම හඳනා පොරෝණා කොට ඇත්තී, නිවැරැද්දෙහි වරදයයි කල්පනා ඇතිව, වරද නිවරදයයි කල්පනා ඇතිව පෙර හැසුරුනෙමි.
108. ගිජුකුළු පව්වෙහි දවල් විවේකයෙන් නික්මුණ මම භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද රාග නැති සර්වඥයන් වහන්සේ දිටිමි.
109. වෙතට ගොස් දෙදණ බිම හැන දොහොත් මුදුන්දී වැන්දෙමි. භාග්‍යවතුන් වහන්සේ එව පින්වතියයි වදාළ සේක. එය මගේ උපසම්පදාව විය.
110. අංග, මගධ, වජ්ජි කාසි, කෝසල යන ජනපද ඇසුරුවිය. ණය රහිතවීමි. පණස් වසක් රට වැසියන් දුන් පිණ්ඩාහාරය අනුභව කෙළෙමි.
111. යමෙක් තෙම රහත්වූ භද්‍රාවට සිවුරක් දුන්නේද ඒ මේ නුවණැති උපාසක තෙම ඒකාන්තයෙන් බොහෝ පින් රැස් කර ගති.
මෙසේ භද්‍රා කුණ්ඩලකෙසී තෙරණිය ගාථාවන් වදාළාය.
භද්‍රා කුණ්ඩලකෙසී ථේරී ගාථා.
5. 10.
112. මිනිස්සු නඟුලින් කෙත සා බිම බිජු වපුරා ඉන් අඹුදරුවන් පෝෂ්‍ය කරමින් ධනයද ලබති.
113. සීල සම්පන්නවූ ශාස්තෘ වචනය කරන්නාවූ කුසීත නොවූ, උඩඟු නොවූ මම කිම නිර්වාණය නොලබම්ද?
114. පා සෝදා සිට උස් බිමින් මිටි බිමට ගලා ආ පා සේදූ දිය දැකැ ඒ ජලය කෙරෙහි භාවනා කෙළෙමි.
115. අසරුවකු ආජානීය අශ්වයා දමනය කරන්නා සේ සිත සන්සුන් කෙළෙමි. ඉක්බිති මම පහනක් ගෙන පන්සලට ගියෙමි.
116. යහන බලා සිහි ඇඳෙහි වැද ගතිමි. ඉන්පසු ඉද්ද ගෙන පහන් තිරය ඇද්දෙමි. එකෙණෙහිම පහන නිවුනාක් මෙන් සිත නිවුනේය.
මෙසේ පටාචාරා තෙරණිය ගාථාවන් වදාළාය.
පටාචාරා ථේරී ගාථා.
5. 11.
117. මනුෂ්‍යයෝ මොහොල් ගෙන වී කොටා අඹු දරුවන් පොෂ්‍ය කරමින් ධනවත්ද වෙති.
118. යමක් කොට පසුව නොතැවේද ඒ බුද්ධ ශාසනය කරව. වහා පා සෝදා එකත්පසෙක හිඳිව්. සිත සන්සිඳවීමෙහි යෙදී බුද්ධාවවාදය කරව්.
119. ඒ භික්ෂුණීහු පටාචාරා තෙරණියගේ දේශනාව අසා පා සෝදා එක පසෙක හුන්නාහුය. සිත සන්සුන් කිරීමෙහි යෙදී බුද්ධ නියමය කළහ.
120. රෑ මුල් යාමයෙහි පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරණ දැනීම ලැබූහ. රාත්‍රි මධ්‍යම යාමයෙහි දිවැස පිරිසිදු කළහ. රෑ පසුයම අඳුරු කඳ නැසූහ.
121. නැගිට පා වැඳ ඔබගේ අනුශාසනය කෙළෙමු. යුද්ධයෙන් දිනූ සක්දෙව් රජු පිරිවරා සිටි තව්තිසා දෙවියන් මෙන් ඔබ පිරිවරා හැසිරෙමු. තුන් දැනීම් ඇත්තමු. පව් නැත්තමු.
මෙසේ තිස් දෙනෙක් පමණ භික්ෂුණීහු ගාථාවන් වදාළහ.
තිංසමත්තා ථේරී ගාථා.
5. 12.
122. පෙර නෑදෑ මිත්‍රයින්ගෙන් තොරවූ වැන්දඹුවූ පුත්‍රයන් නැත්තාවූ බතක් වතකුදු නොලබන දිළිඳු තැනැත්තියක් වීමි.
123. මැටි බඳුනක්ද, සැරයටියක්ද ගෙන ගෙන්ගෙට සිඟා යමින් ශීතයෙන් ඌෂ්ණයෙන් මිරිකෙමින් මම සත් අවුරුද්දක් හැසුරුනෙමි.
124. ආහාර පාන ලබන භික්ෂුණියක දැක වෙතට පැමිණ ශාසනයෙහි පැවිදි කරවයි කීමි.
125. ඒ පටාචාරාවද අනුකම්පාවෙන් මා පැවිදි කළාය. අනතුරුව මට අවවාද කොට පරමාර්ථයෙහි යෙදීය.
126. මම ඇගේ වචනය අසා අනුශාසනා කෙළෙමි. ආර්යාවගේ අවවාදය සඵල විය. ත්‍රිවිද්‍යාලාභී වීමි. පව් නැත්තියක වීමි.
මෙසේ චන්දා තෙරණිය ගාථාවන් වදාළාය.
චන්ද්‍රා ථේරී ගාථා.
පඤ්චක නිපාතය නිමි.