5. පංචක නිපාතය
5. 1.
67. යම්හෙයකින් පැවිදිව විසිපස් වසක් මුළුල්ලෙහි අසුරු ගසන පමණකුදු සිතේ සන්සුන් කමක් නොලදිමි.
68. මම, එසේ සිත සන්සුන් වීමක් නොලැබ කාම ආශායෙන් තෙත්ව හිස අත බැඳ හඬමින් විහාරයට ගියෙමි.
69. මා විසින් ඇදහියයුතු ඒ ධම්මදින්නා නම් භික්ෂුණිය වෙතට පැමිණියෙමි. ඕතොම ස්කන්ධායතන ධාතූන් ප්‍රකාශිත ධර්මය මට දේශනා කළාය.
70. එම භික්ෂුණියගේ ධර්ම කථාව අසා එකත්පසෙක හුනිමි. පෙර ජාති දනිමි. දිවැස පිරිසිදු කරණ ලදී.
71. පරසිත් දැනීමේ නුවණද, දිව කණද පිරිසිදු කරණ ලදී. මා විසින් පෙළහර පෑමේ නුවණ අත් දක්නා ලදී. මාගේ පව් ගෙවීයාම විය. විශේෂ දැනීම් සය අත් දක්නා ලදී. බුද්ධාවවාදය කරණ ලදී.
මෙසේ එක්තරා තෙරණියක් ගාථාවන් වදාළාය.
අප්‍රකට ථේරී ගාථා.
5. 2.
72. ශරීර පැහැයෙන්ද, රූපයෙන්ද, සැපතින්ද, යසසින්ද, තරුණ කමින්ද මත්වූවා තදවූවා අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතමි.
73. මෝඩයන් කථාකරණ මේ කය විසිතුරු කොට සරසා, වැද්දා මළපුඩුව හෙලා බලාසිටින සේ වෙශ්‍යාගෘහයෙහි සිටියෙමි.
74. ආභරණ හැප්පීමෙන් බොහෝ රහස් තැන් දැක්වීමෙන්, මහජනයාට සිනාසෙමින් නොයෙක් රැවටීම් කෙළෙමි.
75. ඒ මම අද හිස මුඩුකොට දෙපොට සිවුරු පොරවා පිඬු පිණිස හැසිර ද්විතියධ්‍යානය පටන් අර්හත්වය ලබා ගස් මුලෙක හුන්නී වෙමි.
76. දෙවි මිනිසුන් ඒ සියළු බැඳුම් සිඳ සියලු පව් ගෙවා සිහිල් වීමි. නිවුනෙමි.
මෙසේ විමලා තෙරණිය ගාථාවන් වදාළාය.
විමලා ථේරී ගාථා.
5. 3.
77. පෙර මා සිත වසඟ නැති කල්හි නුනුවණින් කල්පනා කිරීමෙන් කාමරාගයෙන් මැඩී ඇවිසුණු සිත් ඇත්තී වීමි.
78. කෙලෙසුන්ගෙන් මඩනා ලද්දී, රූපාදීන්හි ශුභ හැඟීම් අනුව පවත්නා සුළුවූවා. රාග සිතට වසඟව සිතේ සන්සිඳුමක් නොලදිමි.
79. කෙට්ටුවී, සුදුමැලිව, අවලක්ෂණව සත්වසක් මුළුල්ලෙහි හැසුරුනෙමි. රෑ දාවල දෙක්හිම පැමිණියා සැපයක් නම් නොවින්දෙමි.
80. නැවත ගිහි බවට පැමිණ හැසිරීමට වඩා ගෙල වැල් ලා මිය යාම හොඳය කියා රැහැණක් ගෙණ වනය තුලට පිවිසියෙමි.
81. මලය දැඩි කොට ගස අත්තක බැඳ එහි ගෙල ඇතුලු කෙළෙමි. එකෙණෙහි මා සිත මිදුනේය.
මෙසේ සීහා තෙරණිය ගාථාවන් වදාළාය.
සීහා ථේරී ගාථා.
5. 4.
82. නන්දාවෙනි, ගිලන්වූ අපවිත්‍රවූ කුණුවූ මේ ශරීරය බලව. එකඟව සිත මනාව අරමුණෙහි පිහිටුවා සිත අශුභ භාවනාවෙන් වඩව.
83. දුගඳවූ, සැරව වැහෙන, මෝඩයන් සතුටු කරණ මෙය යම්සේද, තීගේ මේ සිරුරත් එසේමයි. එය යම්සේද මෙයත් එසේය.
84. රෑ දාවල අනලසව මෙසේ මේ දකිමින් පසුව ස්වකීය ප්‍රඥාවෙන් කලකිරීම දිටිමි.
85. අප්‍රමාදව නුවණින් සලකන්නාවූ ඒ මා විසින් මේ කය තම ඇතුළත පිටත වශයෙන් තතුසේ දක්නා ලදී.
86. එසේ ඇති කල්හි මම ශරීරයෙහි කලකිරුණෙමි. ඇතුළු කයෙහිද නොඇලුනෙමි. අප්‍රමාදව, සියලු බැඳුම් වලින් සන්සිඳුනෙමි නිවුනෙමි.
මෙසේ සුන්දරීනන්දා තෙරණිය ගාථාවන් වදාළාය.
සුන්දරී නන්දා ථේරී ගාථා.