5. 6.
92. මම ගිහිගෙයින් සස්නෙහි ශ්රද්ධාවෙන් පැවිදිව එතැන මෙතැන ලාභ සත්කාරවල ඇලී හැසුරුනෙමි.
93. උතුම් අදහස ඉවතලා හීනාර්ථය සෙවීමි. කෙලෙසුන් වසයට පැමිණ මහණකමේ අදහස නොදනිමි.
94. පන්සලෙහි උන්නාවූ ඒ මට තෘෂ්ණාවට වසඟව නොමගට ගියෙමියි සංවේගයක් විය.
95. මාගේ ජීවිතය ඉතා ස්වල්පයි. ඒ ද ජරාව හා ලෙඩ මිරිකයි. කය ජරාවට පැමිණ බිඳේ. මට පමාවීමට දැන් කල් නොවෙයි.
96. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම තතුසේ සලකන්නී මිදුනු සිත් ඇතිව නැඟී සිටියෙමි. බුද්ධ වචනයට අනුව ක්රියා කෙළෙමි.
මෙසේ මිත්තාකාළී තෙරණිය ගාථාවන් වදාළාය.
මිත්තාකාලී ථේරී ගාථා.
5. 7.
97. ගිහි ගෙය වසන මම භික්ෂූන් වහන්සේ නමකගෙන් බණ අසා රාගාදීන් තොරවූ නොමැරෙන නිර්වාණයට යන දහම දිටිමි.
98. ඒ මම පුතාද දුවද ධන සම්පත්ද හැර කෙහෙ සිඳවා ශාසනයෙහි පැවිදි වීමි.
99. හික්මෙන්නකුවූ මම මතු මග වඩන්නී එයින් නැසියයුතු කෙලෙසුන්ද කාමය හා කොපයද දුරු කෙළෙමි.
100. උපසපන් මෙහෙණියක්ව පූර්ව ජාතිය සිහිකිරීමි. පිරිසිදුව මනාව වඩන ලද දිවැස පිරිසිදු කෙළෙමි.
101. හේතුවෙන් හටගත් වහා බිඳෙන සංස්කාරයන් සතුරු වශයෙන් දැක සියලු පව් දුරු කෙළෙමි. සිහිල් වීමි. නිවුනෙමි.
මෙසේ සකුලා තෙරණිය ගාථාවන් වදාළාය.
සකුලා ථේරී ගාථා.
5. 8.
102. මේ රූප කායයෙන් දරුවන් දසදෙනෙකු වදා, දුර්වලවූවා, මහලු වූවා, භික්ෂුණියක් වෙතට ගියෙමි.
103. ඕතොම මට ස්කන්ධ ආයතන ධාතූන් ගැන ධර්ම දේශනා කළාය. ඇගේ ධර්මය අසා කෙහෙ සිඳ පැවිදිවීමි.
104. හික්මෙන්නාවූ ඒ මාගේ දිවැස පිරිසිදු විය. මා විසූ පෙර ජාති දනිමි.
105. එකඟව, මනාව සිත එකමුතු වූවා අනිමිත්ත භාවනාව වැඩීමි. තෘෂ්ණා වශයෙන් නොගෙණ නිවී, අනතුරුව මිදුනා වීමි.
106. මුල් කැපූ, නුවණින් දන්නා ලද පංචස්කන්ධයෝ පවතිත්. ලාමකවූ දිරූ තිගේ ශරීරයට නින්දා වේවා. නැවත වීමක් දැන් නැත.
මෙසේ සොණා තෙරණිය ගාථාවන් වදාළාය.
සොණා ථේරී ගාථා.