5. 4.
82. නන්දාවෙනි, ගිලන්වූ අපවිත්‍රවූ කුණුවූ මේ ශරීරය බලව. එකඟව සිත මනාව අරමුණෙහි පිහිටුවා සිත අශුභ භාවනාවෙන් වඩව.
83. දුගඳවූ, සැරව වැහෙන, මෝඩයන් සතුටු කරණ මෙය යම්සේද, තීගේ මේ සිරුරත් එසේමයි. එය යම්සේද මෙයත් එසේය.
84. රෑ දාවල අනලසව මෙසේ මේ දකිමින් පසුව ස්වකීය ප්‍රඥාවෙන් කලකිරීම දිටිමි.
85. අප්‍රමාදව නුවණින් සලකන්නාවූ ඒ මා විසින් මේ කය තම ඇතුළත පිටත වශයෙන් තතුසේ දක්නා ලදී.
86. එසේ ඇති කල්හි මම ශරීරයෙහි කලකිරුණෙමි. ඇතුළු කයෙහිද නොඇලුනෙමි. අප්‍රමාදව, සියලු බැඳුම් වලින් සන්සිඳුනෙමි නිවුනෙමි.
මෙසේ සුන්දරීනන්දා තෙරණිය ගාථාවන් වදාළාය.
සුන්දරී නන්දා ථේරී ගාථා.
5. 5.
87. ගින්නද සඳද, හිරුද දෙවියන්ද මම නමස්කාර කෙළෙමි. ගං තොටුපලවලට ගොස් දියට බසිමි.
88. බොහෝවත් සමාදානයෙන් අඩක් හිස මුඩුකෙළෙමි. ඇතිරිලි නැති බිම නිදාගනිමි. රෑ අහරින් වැළකුණෙමි.
89. සැරසීමෙන්ද, පැළඳීමෙන්ද, නෑමෙන් හා ඇඟ ඉලීමෙන්ද කාමරාගයෙන් පීඩිතව මේ කය නැගිටුවෙමි.
90. එයින් පසු ශ්‍රද්ධා ඇතිවැ සස්නෙහි පැවිදිවීමි. මේ ශරීරය තතුසේ දැක කාමරාගය ඉගිලවීමි.
91. ආශාවද, ප්‍රාර්ථනාවද, සියලු උත්පත්තීද සිදින ලදී. සියලු කාමාදී යෝගයන්ගෙන් වෙන්ව සිත සන්සිඳීමට පැමිණියෙමි.
මෙසේ නන්දුත්තරා තෙරණිය ගාථාවන් වදාළාය.
නන්දුත්තරා ථේරී ගාථා.
5. 6.
92. මම ගිහිගෙයින් සස්නෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිව එතැන මෙතැන ලාභ සත්කාරවල ඇලී හැසුරුනෙමි.
93. උතුම් අදහස ඉවතලා හීනාර්ථය සෙවීමි. කෙලෙසුන් වසයට පැමිණ මහණකමේ අදහස නොදනිමි.
94. පන්සලෙහි උන්නාවූ ඒ මට තෘෂ්ණාවට වසඟව නොමගට ගියෙමියි සංවේගයක් විය.
95. මාගේ ජීවිතය ඉතා ස්වල්පයි. ඒ ද ජරාව හා ලෙඩ මිරිකයි. කය ජරාවට පැමිණ බිඳේ. මට පමාවීමට දැන් කල් නොවෙයි.
96. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම තතුසේ සලකන්නී මිදුනු සිත් ඇතිව නැඟී සිටියෙමි. බුද්ධ වචනයට අනුව ක්‍රියා කෙළෙමි.
මෙසේ මිත්තාකාළී තෙරණිය ගාථාවන් වදාළාය.
මිත්තාකාලී ථේරී ගාථා.