5. 11.
117. මනුෂ්‍යයෝ මොහොල් ගෙන වී කොටා අඹු දරුවන් පොෂ්ය කරමින් ධනවත්ද වෙති.
118. යමක් කොට පසුව නොතැවේද ඒ බුද්ධ ශාසනය කරව. වහා පා සෝදා එකත්පසෙක හිඳිව්. සිත සන්සිඳවීමෙහි යෙදී බුද්ධාවවාදය කරව්.
119. ඒ භික්ෂුණීහු පටාචාරා තෙරණියගේ දේශනාව අසා පා සෝදා එක පසෙක හුන්නාහුය. සිත සන්සුන් කිරීමෙහි යෙදී බුද්ධ නියමය කළහ.
120. රෑ මුල් යාමයෙහි පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරණ දැනීම ලැබූහ. රාත්‍රි මධ්‍යම යාමයෙහි දිවැස පිරිසිදු කළහ. රෑ පසුයම අඳුරු කඳ නැසූහ.
121. නැගිට පා වැඳ ඔබගේ අනුශාසනය කෙළෙමු. යුද්ධයෙන් දිනූ සක්දෙව් රජු පිරිවරා සිටි තව්තිසා දෙවියන් මෙන් ඔබ පිරිවරා හැසිරෙමු. තුන් දැනීම් ඇත්තමු. පව් නැත්තමු.
මෙසේ තිස් දෙනෙක් පමණ භික්ෂුණීහු ගාථාවන් වදාළහ.
තිංසමත්තා ථේරී ගාථා.
5. 12.
122. පෙර නෑදෑ මිත්‍රයින්ගෙන් තොරවූ වැන්දඹුවූ පුත්‍රයන් නැත්තාවූ බතක් වතකුදු නොලබන දිළිඳු තැනැත්තියක් වීමි.
123. මැටි බඳුනක්ද, සැරයටියක්ද ගෙන ගෙන්ගෙට සිඟා යමින් ශීතයෙන් ඌෂ්ණයෙන් මිරිකෙමින් මම සත් අවුරුද්දක් හැසුරුනෙමි.
124. ආහාර පාන ලබන භික්ෂුණියක දැක වෙතට පැමිණ ශාසනයෙහි පැවිදි කරවයි කීමි.
125. ඒ පටාචාරාවද අනුකම්පාවෙන් මා පැවිදි කළාය. අනතුරුව මට අවවාද කොට පරමාර්ථයෙහි යෙදීය.
126. මම ඇගේ වචනය අසා අනුශාසනා කෙළෙමි. ආර්යාවගේ අවවාදය සඵල විය. ත්‍රිවිද්‍යාලාභී වීමි. පව් නැත්තියක වීමි.
මෙසේ චන්දා තෙරණිය ගාථාවන් වදාළාය.
චන්ද්‍රා ථේරී ගාථා.
පඤ්චක නිපාතය නිමි.
6. ඡක්ක නිපාතය
6. 1.
127. “මෙහි ආවාවූද, මින් ගියාවූද යමකුගේ මාර්ගය නොදනියිද? කොයින්දෝ ආවකුම මගේ පුතයි හඬති.
128. “මෙහි ආවාවූද, මින් ගියාවූද ඔහුගේ ගමන් මග දනු නම් ඔහුට ශොක නොකරව. සතුන්ගේ ස්වභාවය මෙසේය.
129. “නොඉල්ලන ලදුව එයින් මෙහි ආය. එසේම නොදන්වා කොහේදෝ සිට අවුත් කීප දවසක් මෙහි වැසමින් ගියේය.
130. “මෙයිනුත් අන්භවයකට ගියේය. ඉනුත් අන් තැනකට යෙයි. මළ තැනැත්තේ මනුෂ්‍යාදී රූපයෙන් ඔබ මොබ හැසිරෙමින් යන්නේය. මෙහි ආලෙසම එසේ ගියේය. එහි කවර නම් වැලපීමක්ද?
131. “මගේ හෘදය ඇසුරු කළ දුකසේ දැක්කයුතු දුක් උල ඉගිලවීය. ශෝකයෙන් පීඩිත මගේ ඒ දුහිතෘ ශෝකය දුරු කෙළේය.
132. “ඒ මම උපුටා කළ හුල් ඇත්තී, තෘප්තියට පැමිණියා සපුරා නිවුනෙම්ද මුනින්වහන්ස අද බුදුන් දහම් සඟුන් සරණ කොට යමි.”
මෙසේ පන්සියයක් පමණ ථෙරී භික්ෂුණීහු ගාථාවන් දෙසූහ.
පඤ්ච සත ථේරී ගාථා
6. 2.
133. “පුත්‍ර ශෝකයෙන් පීඩිතවූවා අවුල් සිත් ඇත්තී එයින්ම පිරිසිදු සිහිනැත්තී නිර්වස්ත්රවූවා විසිරුණු කෙස් ඇත්තී මම තැනින් තැන හැසුරුණෙමි.
134. “කසල ගොඩවලද, සොහොනෙහිද, වීථිවලද විසීමි. බඩසා පවසින් පෙළෙමින් තෙවසක් හැසුරුණෙමි.
135. “නොදැමුණවුන් දමනය කරවා සියල්ල දත් කිසිවකින් භයක් නැත්තාවූ, ශොභන ගමන් ඇත්තාවූ මිථිලාව බලා වඩින්නාවූ බුදුන් දුටිමි.
136. “ප්‍රකෘති සිහිකල්පනා ලැබ වැඳ උන්වහන්සේ වෙතට පැමිණියෙමි. ඒ ගෞතමයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූසේක.
137. “උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි මහණවීමි. බුදුන්ගේ වචනයෙහි යෙදී නිර්වාණ පදය අත්කෙළෙමි.
138. “මේ අන්තකොට ඇත්තාවූ සියළු ශෝකයෝ සිඳින ලදහ. යමෙකින් ශෝකයන්ගේ පහළවීම වේද, ඒ වස්තුව මා විසින් පිරිසිඳ දන්නාලදී.”
මෙසේ වාසෙට්ඨි ථෙරී ගාථාවන් දෙසුවාය.
වාසෙට්ඨි ථේරී ගාථා