20. 4.
312. “පින්වතිය, නුඹ පෙර මියගිය පුත්රයන් කමින් රෑ දාවල් දෙක්හි අතිශයින්ම තැවුනෙහිය.
313. “වාසෙට්ඨි බැමිණිය, අද සිය ගණන් දරුවන් කා දමා කවර කාරණයකින් දැඩිසේ ශෝක නොකෙරෙහිද?
314. “බමුණ පෙර නුඹ විසින්ද මා විසින්ද බොහෝ සිය ගණන් දරුවෝද බොහෝ ඥාති වර්ගයාද කා දමන ලදහ.
315. “ඒ මම ඉපදීමෙන් හා මරණයෙන් බේරීම දැන ශොක නොකරමි. නාඬමි. නැවත නොතැවෙමි.
316. “වාසෙට්ඨිය, නුඹ ඒකාන්තයෙන් මෙබඳු පුදුම වචනයක් කීයෙහි. නුඹ කාගේ ධර්මක් දැන ස්ථිරව මෙසේ කියනෙහිද?
317. “බ්රාහ්මණය මේ සර්වඥයන් වහන්සේ මිථිලා නුවර සියළු දුක් දුරු කිරීම පිණිස සත්වයින්ට ධර්ම දේශනා කරණ සේක.
318. “බ්රාහ්මණය, අර්හත්වූ ඔබගේ නිදුක්වූ ධර්මය අසා තේරුම් ගත් චතුරාර්ය සත්ය ධර්ම ඇත්තී පුත්ර ශෝකය දුරු කෙළෙමි.
319. “ඒ මමද මිථිලා නගරය බලා යමි. ඒ භාග්යවතුන් වහන්සේ මාද සියළු දුකින් මුදවන්නේ නම් ඉතා යෙහෙක. බ්රාහ්මණ තෙම සම්පූර්ණයෙන් මිදුණාවූ උපධි රහිත වූ සර්වඥයන් වහන්සේ දුටුයේය.
320. “දුක ඉක්මවූ ඒ සර්වඥයන් වහන්සේ ඕහට දුකය, දුක් හටගැන්මය, දුක් නැසීමය, දුක් නැසීමේ මගය, යන දුක් නසන ක්රමයවූ චතුරාර්ය සත්ය ධර්මය දේශනා කළසේක.
321. “එහි දක්නා ලද බුදු දහම් ඇතියේ ප්රව්රජ්ජාව රුචි කෙළේය. සුජාතතෙම තුන් රැයකින් තුන් නුවණ ලැබ රහත් විය.
322. “එව රියැදුර, යව, මේ රිය පාවාදී යව. බැමිණියට නිරෝගී බව කියව. දැන් සුජාත බමුණා පැවිදි විය. රෑ තුනින් තුන් නුවණ ලැබීයයි කියව.
323. “ඉන්පසු රියැදුරා රියත් මසු දහසත් ගෙන (ගොස්), දැන් සුජාත බ්රාහ්මණයා පැවිදි විය. රෑ තුනින් තුන් නුවණ ලැබීයයි බ්රාහ්මණියට නිරොගී බව කීය.
324. “සාරථිය, තෙවිදුවන් බමුණා බව දැන, මේ අශ්ව රථය ද කහවණු දහස ද පුණ්ණපාත්රයක් (තෑග්ගක්) කොට ඔබට දෙමි.”
325. “බ්රාහ්මණීය, අශ්ව රථයත් මසු දහසත් නුඹටම වේවා. මමද උතුම් සර්වඥයන් වහන්සේ වෙත පැවිදි වෙමි.”
326. “ඇත් ගව අසුන්ද, සිත්කළු මිණි කොඩොල්ද පිරුණු ගෘහ සම්පත්තියද හැර ඔබේ පියා පැවිදි විය. සුන්දරිය, නුඹ මේ සම්පත් අනුභව කරව. නුඹ කුල දායාද ඇත්තීය.”
327. “ඇත් ගව අසුන්ද, මැණික් තෝඩුද තවත් මේ ගෙයි සිත්කළු සැපද හැර පුත්ර ශෝකයෙන් පෙළුනු මපියා පැවිදිවිය. සොහොයුරු ශෝකයෙන් මිරිකුනු මමද පැවිදිවෙමි.”
328. “සුන්දරිය, නුඹ යමක් පතන්නෙහි නම් නුඹේ අදහස සමෘද්ධ වේවා. පිණ්ඩපාත ආහාරයද, සිඟීමද, පාංශුකූල වස්ත්රයද යන මේ ලබමින් පරලොවට පව් නැත්තී වෙව.”
329. “මෙහෙණි සමූහයා බබුළුවන ආර්යාවෙනි, හික්මෙන්නකවූ මා විසින් දිවැස පිරිසිදු කරණ ලදී. මා විසින් පෙර විසූ තැන් දක්නා ලදී.”
330. “කල්යාණිය, මෙහෙණි සමූහයා බබුළුවන ආර්යාවෙනි, ඔබ නිසා (මම) තුන් නුවණ ලබන ලදී. බුද්ධ වචනය කරණලදී.”
331. “ආර්යාවෙනි, බුදුන් දක්නට සැවැත් නුවර යනු කැමැත්තෙමි. එය දත මැනව. බුද්ධොත්තමයා සමීපයෙහි සිංහ නාදය පවත්වන්නෙමි.”
332. “සුන්දරිය, රන්වන්, රන්බඳු සිවි ඇති, නොහික්මුණවුන් හික්මවන, කොයි කරුණකින්වත් බිය නැති, ශාස්තෘවූ සම්බුදුන් බලව.”
333. “කෙලෙසුන්ගෙන් මිදුනාවූ උපධි රහිතවූ, පහවූ රාග ඇති බැඳුම් නැති, කටයුතු කළාවූ, පව් රහිතවූ සමීපයට එන සුන්දරිය බලා වදාළ මැනවි.”
334. “බරණැසින් නික්ම නුඹ වහන්සේ කරා ආවාවූ, ශ්රාවිකාවූ සුන්දරිතොම, මහාවීරයන් වහන්ස, ඔබවහන්සේගේ ශ්රීපාදය වඳියි.”