20. වීසති නිපාතය.
20. 1.
252. “මගේ කෙස් බමරුන්සේ කළුවිය. කෙළවර කැරකී නැවී ගියේය. ඔහු දැන් ජරාව හණ නූල් මෙන් වෙයි. සත්‍යවාදීන්ගේ වචනය එසේමැයි.
253. “සුවඳ කරවන ලද සුවඳ කරඬුවක් වැනිවූ මල් පුරවන ලද මාගේ කේශ සමූහය දැන් ජරාවෙන් එළු ලොම් ගඳ හමයි. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
254. “මනාව වැවූ උයනක් වැනිවූ කොස්සෙන් හා රන් පනාවෙන් අවුල් හළ අගින් සැරසුණු ඒ කේශ සමූහය ජරාවෙන් තන්හි තන්හි ගැලවී වැටී තුනීවිය. සත්‍යවාදී වචනය එසේමැයි.
255. “ගෙතූ හිසකේ වැටිවලින් හොබවනලද රන්කමින් සරසන ලද එය පෙර ශොභමානය, එය ජරායෙන් ගිලිහී වැටී පෑතැටිවිය. සත්‍යවාදී වචනය සේ විය.
256. “දක්ෂ චිත්‍ර ශිල්පියකු විසින් මනාව කළ රේඛා මෙන් මා බැම සඟල පෙර බැබලුහ. දැන් දිරීමෙන් රැලි එල්බ සිටියි. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
257. “ප්රභාශ්වරවූ ඉතා සිත්කළු නිල්වන් දික්වූ නේත්‍රයෝ මැණික් මෙන් බැබලුහ. දැන් ඔහු ජරාවෙන් මැඩී නොහොබිති. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
258. “සිලුටුවූ උස්වූ මනාව පෙනෙන නාසිකාව තරුණ වියට සුදුසු පරිදි හෙබීය. දැන් ඒ ජරාවෙන් ඇකිලී පවතී. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
259. “මනා කොට නිමවන ලද රන් වළලු මෙන් මාගේ කන්පෙති බැබලුහ. දැන් ඔහු රැලියෙන් යුක්තව එල්බෙති. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
260. “කොඳ මල් කැකුළු වැනි මගේ යහපත් දන්තයෝ පෙර හෙබූහ. දැන් ජරානුභාවයෙන් සෙලැවී කහවිය. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
261. “වනලැහැබ්හි හැසිරෙන කෙවිලියක් මෙන් මිහිරි කොට දෙඩූයෙමි. දැන් ජරාවෙන් ඒ ඒ තැන දත් වැටුනේය. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
262. “මාගේ යහපත් ශ්‍රීවය මනාව ඔප දැමූ සියුම් රන් සකක් මෙන් පෙර බබළාමය. දැන් එය ජරාවෙන් බිඳී නැවී සිටිසේය. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
263. “පෙර මගේ දෙඅත් වටවූ අගුලු දඬු මෙන් ඉතා බබළයි. ඔහු පැළුණු පළොල් අතු මෙන් ජරාය. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
264. “සිළුටු මුදු හා රනින් සැරසූ මගේ හස්තයෝ පෙර මනාව හෙබූහ. ඔහු ජරාවෙන් මුලපලා අල මෙන් වෙයි. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
265. “පිරී වටව එකට ගැටී උස්වූ මගේ පියකරු පියයුරු පෙර බබළයි. වතුර නැති පෙරහන්කඩ මෙන් එල්බ සිටියි. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
266. “මගේ මනා ශරීරය මනාව පිරිමැදි රන්පුවරුවක් මෙන් හොබියි. සියුම් ඇඟ රැළියෙන් ගැවසීය. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
267. “පෙර මගේ යහපත් කලවා යුවළ ඇත් සොඬමෙන් බබළයි. ඔහු ජරාවෙන් මඩනාලද්දාවූ උණ පුරුක් මෙන් වෙති. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
268. “සිනිඳු රත්රන් පා වළලු වලින් හෙබියාවූ මගේ බබළන ඒ කෙණ්ඩා යුවළ ජරාවෙන් තල දඬුමෙන් වේ. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
269. “පෙර මාගේ පතුල් ඉඹුල් පුළුනින් පිරුණාසේ මනාව පැවැත්තාහ. දැන් ජරාවෙන් පැලී රැලි වැටී තිබෙයි. සත්‍යවාදී වචනය සේ අනිකක් නොවීය.
270. “මේ ශරීරය එබඳු විය. දැදුරුවිය. බොහෝ දුක්ඛයන්ට වාසස්ථාන විය. ඒ ආලේප මැටි ගැලවී වැටුණු ජරපත් ගෙයක්ය. සත්‍යවාදී වචනය එසේම වෙයි.”
ඉත්ථං සුදං අම්බපාලී ථෙරී ගාථායො අභාසීති.
අම්බපාලී ථේරී ගාථා.