20. 2.
271. “පින්වතිය, නුඹ ශ්රමණයයි කියා නිදනෙහිය. ශ්රමණයයි කියා පුබුදිනෙහිය. ශ්රමණයන් ගැනම වර්ණනා කරන්නෙහිය. නුඹ ශ්රමණියක් වන්නෙහිය.
272. “බොහෝ ආහාර පාන ශ්රමණයන්ට දෙන්නෙහිය. රෝහිණිය, කවර හෙයකින් නුඹට ඒ ශ්රමණයන් ප්රිය දැයි දැන් නුඹ විචාරමි.
273. “නොකටයුතු කැමතිවූ, කුසීතවූ, අනුන් දුන් දෙයින් ජීවත්වන බලා බලා සිටින, මිහිරි දෙයම කැමැත්තාවූ ඒ ශ්රමණයෝ නුඹට කවර හෙයින් ප්රියද?
274. “පියාණෙනි, නුඹ බොහෝ කලකින් ශ්රමණයන් ගැන මා අතින් විචාළෙහිය. නුඹට උන්වහන්සේලාගේ නුවණ, සිල්, වෑයම කියන්නෙමි.
275. “කටයුතු කැමැත්තාවූ, අනලස්වූ, ශ්රේෂ්ඨ ක්රියාවන් කරන්නාවූ උන්වහන්සේලා ඇල්ම තරහ දුරු කෙරෙත්ද එහෙයින් ශ්රමණයින් වහන්සේලා මට ප්රියයි.
276. “පිරිසිදු ක්රියා කරන්නාවූ තුන් අකුසල් මුල් නසත්. උන්වහන්සේලාගේ සියළු පව් ගෙවිණ. එහෙයින් ශ්රමණයින් වහන්සේලා මට ප්රියය.
277. “ඔවුන්ගේ කයේ කටයුතු පිරිසුදුය. වචනයේ කටයුතුද එසේය. ඔවුන්ගේ සිතේ කටයුතුද පිරිසිදුය එහෙයින් මට මහණහු ප්රියය.
278. “පිරිසුදු සක් මෙන්ද මුතු මෙන්ද, ඇතුළත පිටත දෙක පිරිසුදුය. ශුද්ධ ධර්මයන්ගෙන් සම්පූර්ණය. එහෙයින් (මට මහණහු ප්රියය).
279. “බොහෝ ඇසූ, ධර්මය දරණ, ධර්මයෙන් ජීවත්වන ආර්යයෝ අර්ථයද ධර්මයද ප්රකාශ කෙරෙත්. එහෙයින් (මට මහණහු ප්රියය).
280. “බොහෝ ඇසූ ධර්මය දරණ, ධර්මයෙන් ජීවත් වන ආර්යයෝ එකඟ සිත් හා පැමිණ සිටි සිහි ඇත්තෝ වෙති. එහෙයින් (මට මහණහු ප්රියය).
281. “දුර ගමන් කරණ යහපත් සිහි ඇත්තාවූ පමණ දැන කථා කරන්නාවූ, උඩඟු නැති ඔහු දුකෙහි කෙළවර දනිත්. එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙති.
282. “යම් ගමෙකින් බැහැර යෙත්ද, එහි කිසිවක් නොබලත්. අපෙක්ෂා නොකොට යත්. එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙති.
283. “උන්වහන්සේලා කොටු ගුල්වල ලා නොරකිත්. කළයෙහිද සැලෙහිද නොතබත්. අනුන් නිසා පිළියෙලවූ ආහාරය සොයන්නාහුය. එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙති.
284. “උන්වහන්සේලා අමු රන් නොපිළිගනිත්. රත්රන් නොපිළිගනිති. රිදී නොපිලිගනිත්. ඒ වේලාවෙහි උපන් පරිදි යැපෙති. එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙති.
285. “නොයෙක් දනව්වෙන් නොයෙක් කුලයෙන් පැවිදි වූවෝ ඔවුනොවුන් ප්රිය කරති. එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙති.
286. “පින්වත් රොහිණිය බුදුන් දහම් සඟුන් අදහන තද ගෞරව ඇති ඔබ සැබවින් අපට හිත පිණිස කුලයෙහි උපන්නීවෙහි.
287. “නුඹ වනාහි ඉතා උතුම් පින්කෙත දන්නෙහිය. අපගේ දන් ඒ ශ්රමණයෝ පිළිගනිති. මෙහි පිහිටුවන ලද යාගය මහත් ඵල වන්නේය.
288. “ඉදින් දුකින් බිය වන්නෙහි නම් දුක තට අප්රිය නම්, බුදුන් දහම් සඟුන් සරණකොට යව ශීලයන් සමාදන්වෙව. එය නුඹට වැඩ පිණිස වෙයි.
289. “බුදුන් දහම් සඟුන් සරණකොට යමි. ශීලයන් සමාදන්වෙමි. එයින් මට වැඩක් වන්නේය.
290. “පෙර මම බ්රහ්මගේ නෑයෙක් වීමි. දැන් බ්රාහ්මණ වෙමි. තුන් නුවණ ඇති පිරිසිදු සතර මාර්ගයට පැමිණි පව් සෝදා හැරියෙක් වෙමි.”
ඉත්ථං සුදං රොහිණී ථෙරී ගාථායො අභාසීති.
රොහිණී ථේරී ගාථා.
20. 3.
291. “අතීතයෙහි සැරයටියක් අතේ ඇත්තේ විය. දැන් මුව වැද්දෙකි. තෘෂ්ණාව හේතුකොට ගෙන රළුවූ ගෝරු මඩින් පරතෙර ඒ මට නොහැකිවිය.
292. “චාපාතොම මා කාමයෙහි අතිශයින් මත්වූවෙකැයි සිතා පුතු නලවයි. චාපාවගේ බැම්ම සිඳ මම නැවතද පැවිදි වන්නෙමි.
293. “මහා වීරය මට නොකිපෙව, මහාමුනිය මට නොකිපෙව, ක්රෝධයෙන් යුක්තයාහට ශුද්ධියක් නැත්මය, තපසක් කොයින්ද?
294. “නාලා නම් ගමින් නික්ම පැවිදිවීමි. ක්රෝධය (මා හා) නාලා ගමට නොඑන්නේය. දැහැමින් කල් යවන ශ්රමණයන් ස්ත්රීහු රූපයෙන් බඳිති.