7. 1. 1.
459. “මනාකොට වැසීමෙන් අලංකාර කරනලද සිනිඳු මල්දම්වලින්ද සරසන ලදුව ලාකඩ රසයෙන් ලක්ෂණ කළ පා දෙකින් යුක්තවූ ස්වර්ණමය පාවහන් ඇති වෙශ්‍යා තොමෝ
460. “පාවහන් ගලවා ඉදිරිපිට ඇඳිලි බැඳගෙණ (ඕ තොමෝ) මට මධුරවූ වචනයෙන් මෙසේ කීවාය.
461. “තෝ බාල වියෙහිදීම පැවිදිවූවෙහිය. මාගේ වචනය කරන්නෙහි නම් මානුෂික කාමයන් පරිභොග කරව. ඒ පිණිස මගේ සිත ඔබට දෙමි.
462. “ඔබ විසින් මෙය ඇත්තක්කොට පිළිගනුව. ඒ අදහන්නහු නම් ගිනි ඉදිරිපිට තබා දිවුරා කියනු. අප දෙදෙනාම සැරයටිය පිහිටකොට පවත්නා කල්හි පැවිදි වන්නමු නම් දෙපැත්තෙන්ම ජයගත්තේවේ.
463. “වෙශ්‍යාංගනාව විසින් ඇදිලි බැඳ කළ මේ ආයාචනය දැක, මාරයා විසින් ඔසවනලද පාසයක් (උගුලක්) බඳුවූ අලංකෘත වස්ත්‍රාභරණ සහිත වෙශ්‍යාව දැකීමෙන්,
464. “මට සිහිනුවණ උපණ. දෝෂයන් ප්‍රකටව පෙණින, කලකිරීමද ලබනලදී.
465. “එයින්ම සිත පස්වැදෑරුම් විමුක්තියෙන් මිදුණි. ධර්මයාගේ යහපත් බව ලබව. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කරන ලදී.”
මෙසේ ආයුෂ්මත් සුන්දරසමුද්ද තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සුන්දර සමුද්ද ථේර ගාථා
7. 1. 2.
466. “ශ්‍රේෂ්ඨවූ අම්බට්ඨ කාරාමයෙහිවූ වන ලැහැබෙහි භද්දිය ස්ථවිරයන් වහන්සේ අවිද්‍යා සහිත තෘෂ්ණාව නසා එහිම සීලාදී ගුණයන්ගෙන් යහපත් බවට පැමිණි කෘත්‍යය ඇත්තේ මේ ආත්මයෙහිම ධ්‍යාන සමාපත්ති සැපයෙන් විසුවෙමි.
467. “මිහිඟුබෙර, වීණා, පනා බෙර යන නෘත්‍ය භාණ්ඩ විශේෂයන්ගෙන් ඇතැම් කාමභොගී සත්වයෝ සතුටුවෙති. මමද ගස්මුල්වල බුදුන්ගේ අනුශාසනාව කරමින් සතුටුවෙමි.
468. “බුදුරජාණන් වහන්සේ මට වර දෙන ලද්දේද, ඒ වරය මම ලබාගතිමි. සියලු ලෝකයාට කායගතාසති කර්මස්ථානය වඩන පිණිසයි.
469. “ලාමකවූ ජනයා විසින් මගේ නිහීණ රූපය පිළිකුල් කොටද, පහත්කොටද, සිතුවාහුය, සමහර සත්වයෝ ගරු කිරීම් වශයෙන් මට බුහුමන් කළාහුය. ඒ දෙකොටසම ඡන්ද රාගයෙන් යුක්තවූවාහුය. මම ඡන්දරාගය නැත්තෙකු බව ඔව්හු නොදනිති.
470. “යමෙක් අධ්‍යාත්මය නොදනී ද බාහිරය නොදකී ද හාත්පසින් ආවරණය වූ ඒ බාල තෙම ඝෝෂයෙන් ගෙන යනු ලැබේ.
471. “ආධ්‍යාත්මික තත්ත්වය නොදැක පිටස්තර තත්ත්වය දකීනම් හෙතෙම පිටස්තර බලය දැක්කාවූ ඔහු අනුන්ගේ කියමන් අනුවයේ.
472. “යමෙක් ආධ්‍යාත්මික තත්ත්වය දැන, බාහිර තත්ත්වයන් බලානම් යහපත් හැසිරීම් සහිත ඒ පුද්ගලයා අනුන්ගේ කියමනට නොනැමෙයි.”
මෙසේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
ලකුණ්ඨක භද්දිය ථේර ගාථා
7. 1. 3.
473. “මම බොහෝවූ ව්‍රත චරියාවෙන් හා ආයාචනාවලින්ද, මවුපියන් විසින් දුකසේ ලැබගත් එකම ප්‍රිය පුත්‍රයෙක්වීමි.
474. “යහපත කැමැති හිතෛෂිවූ ඒ මවුපිය දෙදෙනා මට අනුකම්පා උපදවා බුදුන්ට මා භාරකළහ.
475. “සැපසේ වැඩුවාවූද සුඛුමාලවූද දුකසේ ලැබගත් අපගේ පුත්‍රයා නාථ වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට පවරා දෙමි.
476. “ශාස්තෲන් වහන්සේද මා පිළිගෙණ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ. ‘මොහු වහා පැවිදි කරව, මෙතෙම ප්‍රධාන පුරුෂයෙක්ය.’
477. “මා පැවිදි කරවා ශාස්තෲන් වහන්සේ විහාරයට පිවිසිසේක. හිර නොබැසි කල්හිම මගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනෙමි. රහත් බවද ලදිමි.
478. “ඉන්පසුව ශාස්තෲන් වහන්සේ ඵල සමවතින් නැගිට ‘භද්ද එව’ යන වචනයෙන්ම මගේ උපසම්පදාව සිදුවිය.
479. “උත්පත්තියෙන් සත්වෙනි හවුරුද්දෙහි මම උපසම්පදාව ලදිමි. ත්‍රිවිද්‍යාවද ලදිමි. ධර්මයක යහපත් බව ආශ්චර්යයි.”
මෙසේ ආයුෂ්මත් භද්ද තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
භද්ද ථේර ගාථා