6. 1. 2.
381. “වී හාල් ආදී ධාන්‍ය වර්ග ගෙවලත් ගම්වලත් පිරී ඇති කල්හි භික්ෂා මාත්‍රයක් නොමලදිමි, ඒ මම කෙසේ කෘෂිකර්මයෙහි යෙදෙම්ද?
382. “අපරිමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ සිහිකර පැහැදුනේ උසස් ප්‍රීතියෙන් යුක්තව සාපිපාසා දෙකින් නොමඩනා ලදුව විසුවෙමි.
383. “අපරිමාණ ගුණ ඇති ධර්මය සිහිකර පැහැදුනේ උසස් ප්‍රීතියෙන් යුක්තව සාපිපාසා දෙකින් නොමඩනා ලදුව විසුවෙමි.
384. “අපරිමාණ ගුණ ඇති සංඝයා සිහිකර පැහැදුනේ උසස් ප්‍රීතියෙන් යුක්තව සාපිපාසා දෙකින් නොමඩනා ලදුව විසුවෙමි.
385. “ලනලද දොර අගුල් ඇති සෙනසුන්හි විසීම සැපයට හේතුවක්කොට සිතා, සීතලෙන් යුක්තවූ හිම වැටෙන රාත්‍රිවල එළිමහන් ස්ථානයන්හි විසුවෙමි. එසේ සීතලෙන් මඩනා ලදුයේ වෙහෙසට නොපැමිණියෙමි.
386. “සතර බ්‍රහ්ම විහරණ සමාපත්තීන්ට සමවදිමින් විසුවෙමි. එයින්ම සැපයට පැමිණියේ සතර ඉරියව් පැවැත්වීමි. සීතාදී උපද්‍රව නැතිව සිත නොකැළඹීමෙන් විසුවෙමි.”
ආයුෂ්මත් තෙකිච්ඡකාරී තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
තෙකිච්ඡකානි ථේර ගාථා.
6. 1. 3.
387. “යමෙකු සබ්‍රම්සරුන් කෙරෙහි ගරු කිරීමක් නැත්තේද, හෙතෙම සද්ධර්මයෙන් පිරිහෙයි. ඒ කෙසේදයත්, දියසිඳුන වළක වසන මත්ස්‍යයා මෙනි.
388. “යමෙකු සබ්‍රම්සරුන් කෙරෙහි ගරු කිරීමක් නොමැත්තේද හෙතෙම සදහම්හි දියුණුවක් නොලබයි. කෙතෙහි වපුල කුණු බිජු වටක් මෙනි.
389. “යමෙකු සබ්‍රම්සරුන් කෙරෙහි ගරු කිරීමක් නො මැත්තේද හෙතෙම සර්වඥ ශාසනයෙහි දැක්වෙන නිවනට කිට්ටු නොවෙයි.
390. “යමෙකු සබ්‍රම්සරුන් කෙරෙහි ගරු කෙරේද හෙතෙම සදහමින් නොපිරිහෙයි. දිය පිරී තිබෙන වළක වෙසෙන මත්ස්‍යයා මෙනි.
391. “යමෙකු සබ්‍රම්සරුන් කෙරෙහි ගරු කෙරේද, හෙතෙම සද්ධර්මයෙහි දියුණුවට පැමිණේ. කෙතෙහි වපුළ යහපත් ධාන්‍ය වැඩෙන්නාක් මෙනි.
392. “යමෙකු සබ්‍රම්සරුන් කෙරෙහි ගරු කෙරේද, හෙතෙම බුද්ධ ශාසනයෙහි පෙන්නුම් කළ නුවණට කිට්ටුවූ තැනැත්තෙක් වෙයි.”
ආයුෂ්මත් මහානාග තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
මහානාග ථේර ගාථා.
6. 1. 4.
393. කුල්ල ස්ථවිරයන් වහන්සේ සොහොනට ගොස් උඩුකුරුව හෝනා පණුවන් විසින් කනු ලබන ස්ත්‍රියක් පිළිබඳ මෘත ශරීරයක් දුටුයේය.
394. “බාලයන්ගේ සතුටට හේතුවූ උඩ වන මුඛයන්ගෙන් හා පහත වන මුඛයන්ගෙන් අශුචි වැගිරෙන්නාවූද, දුගඳ හමන්නාවූද, දුකෙන් පෙළෙන්නාවූද ශරීරය කුල්ල ස්ථවිරයෙනි බලව.
395. “ඤාණය පහළකර ගැණීමට ධර්ම නැමැති කණ්ණාඩිය ගෙණ ඇතුළතත්, පිටතත් පිළිකුල්වූ මේ ශරීරය ඤාණයෙන් සිහිකොට බැලීමි.
396. “මේ ශරීරය යම්සේද අන්‍ය ශරීරත් එසේමැයි අන්‍ය ශරීර යම්සේද මේ ශරීරයත් එසේමැයි. යට කොටස යම්සේද උඩ කොටසත් එසේමැයි. උඩ කොටස යම්සේද යට කොටසත් එසේමැයි.
397. “දහවල් යම්සේද රාත්‍රියත් එසේමැයි. රාත්‍රිය යම්සේද, දහවලත් එසේමැයි බාල තරුණ කාලවල යම්සේද මහළු කලත් එසේමැයි. මහළු කල යම්සේද බාල තරුණ කලත් එසේමැයි.
398. “එකඟවූ සිතින් ධර්මය බලන්නහුට ඇතිවන රතිය (ආශාව) පඤ්චාංගික තූර්ය නාදයෙන්ද ඇති නොවේ.”
ආයුෂ්මත් කුල්ල තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
කුල්ල ථේර ගාථා.