6. 1. 11.
435. “වාත රෝගයෙන් මඩනා ලද්දේ මහ වනයෙහි වාසය කරන්නේ ප්‍රත්‍ය දුර්ලභවූ වාත රෝගයට අහිතවූ ස්ථානයෙහි මහණ තොප කුමක් කරන්නෙහිද?
436. “මහත්වූ ප්‍රීති සැපයෙන් මුළු ශරීරයම සැපවත් කොට අරණ්‍ය වාසයෙහි සැහැල්ලු පැවතුම් ඇතුව සියල්ල ඉවසා වනයෙහි වාසය කෙළෙමි.
437. “සතිපට්ඨාන ඉන්ද්‍රිය බල බොඤ්ජංග ධර්මයන් වඩමින් කෙලෙස් නැතිව වාසය කරමි.
438. “සියලු කෙලෙසුන්ගෙන් වෙන්ව පිරිසිදු සිතක් ඇතිව නොකැළඹුනාවූ අදහසින් නිතර නුවණින් සිහි කරමින් ආශ්‍රව ධර්ම රහිතව වාසය කෙළෙමි.
439. “ආධ්‍යාත්මික බාහිර වශයෙන් පැවති සියලුම ක්ලේශයෝ මතුනූපදනා පරිද්දෙන් විනාශකර දැමීමි.
440. “ස්කන්ධ පංචකය පිරිසිඳීමෙන් සියලු මුල් සිඳ දුක් නැතිකළ බවට පැමිණියෙමි. මින්මතු නැවත ඉපදීමක් මට නැත.”
ආයුෂ්මත් න්හාතකමුනි තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
න්හාතකමුනි ථේර ගාථා.
6. 1. 12.
441. “උත්තම දමනයෙන් දමනයවූ කය සමනය කළ මනාකොට දැන කෙළෙසුන්ගෙන් මිදුනාවූ උපශාන්ත ගුණයෙන් අටලෝ දහමෙහි කම්පා නොවන ගුණයෙනුත් යුක්තවූ ක්‍රොධ නොකරන මට ක්‍රෝධයක් කොයින්ද?
442. “යමෙක් කිපෙන්නෙකුට කිපේද, ඔහුට එයින් පව් ඇතිවේ. කිපෙන්නාට නොකිපෙන තැනැත්තා දිනිය නොහැකි යුද්ධයකින් ජය ගත්තෙක් මෙනි.
443. “අනුන් කිපි බව දැන තමා සංසිඳී නොකිපී සිටියොත් තමාටත් අනුන්ටත් කියන දෙපක්ෂයටම ඔහු යහපතක් කළ කෙනෙකි.
444. “තමාගේත් අනුන්ගේත් යහපතට හේතුවන ක්‍රොධ නොකිරීමේ ප්‍රතිකර්මය කළ තැනැත්තා ධර්මය නූගත් අඥාන ජනයා මෝඩයෙක්කොට සලකයි.
445. “ඉදින් ක්‍රෝධය උපදීනම් කියතෙහි උපමා අවවාදය සිහිපත්කරව, රස තෘෂ්ණාව උපදී නම් පුත්‍රමාංශොපමාව සිහිකරව.
446. “ඉදින් සිත කාම සැප භව සැප යනාදියෙහි දිවේද, සිහිය උපදවා ඒ සිතට නිග්‍රහ කළයුතුය. කුළු ගොනෙක් කණුවක බැඳ හික්මවන්නාක් මෙනි.”
ආයුෂ්මත් බ්‍රහ්මදත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
බ්‍රහ්මදත්ත ථේර ගාථා.
6. 1. 13.
447. “(දුශ්චරිත) වැසීමෙන් කෙලෙස් වැඩිවෙයි. නොවැසීමෙන් කෙලෙස් අඩුවෙයි. ඒ නිසා නොවසා විවෘත කරව. එසේ කල්හි කෙලෙස් වැඩි නොවේ.
448. “මේ සත්ව ලෝකය මරණයෙන් යටපත් කෙරේ. ජරාවෙන් පිරිවරණ ලද්දේවෙයි. තෘෂ්ණා නම් වූ හුලෙන් ඇතුළත විදින ලද්දේවෙයි. හැමකල්හි අරමුණ කැමැත්තේ දුම් දැමීමක් වෙයි.
449. “සත්වලෝකය මරුවා විසින් යටපත් කරනලදුව, ජරාවෙන් පිරිවරණ ලදුව, අසරණව අපරාධ කළ සොරෙක් රාජ දඬුවම් ලබා තැවෙන්නාක් මෙන් තැවීමට පත්වෙයි.
450. “වනයෙහි හටගත් ලැව්ගින්නක් මෙන් ජරා ව්‍යාධි මරණ යන තුන අභිභවනය කරන්ට නොහැකිය. ජය ලබා පලායාමටද නොහැකිය.
451. “විදර්ශනා භාවනාවෙන් තොරව දවස් නොහරිව්, ස්වල්පමාත්‍ර කාලයකුදු හිස් නොකොට බොහෝ වශයෙන්ම භාවනාදියෙහි යෙදුනේ රෑ දවල් හිස්නොකොට ගත කෙරේ නම් ඔහුගේ ජීවිතය හිස් නොවේ.
452. “යාම, හිඳීම, සිටීම, සයනය කිරීම යන සතර ඉරියව්වෙහිම කාලය හිස් නොකොට අප්‍රමාද විහරණයෙන් යුක්තව වසව.”
ආයුෂ්මත් සිරිමන්ද තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සිරිමන්ද ථේර ගාථා.