5. 1. 7.
345. “ඒ මම දවසට තුන් වරක් උදෑසනද මද්දහනද සවසද උපවාස කාලයෙහි ගයාවෙහි දියට බැස්සෙමි.
346. “පෙර නොදන්නා කාලයෙහි මා විසින් යම් පාප කර්මයක් කරණ ලද්දේද එය දැන් මෙහි පා කර හරිමි. පෙර මෙබඳු දෘෂ්ටියක් විය.
347. “ධර්මයෙන් හා වැදගත් පදයන්ගෙන් යුත් යහපත් වචන අසා ඒ තත්වූ පරිදි තේරුම්ගෙන නුවණින් සිතුවෙමි.
348. “සෝදාහරණලද සියලු පව් ඇත්තෙමි. නිර්මලවෙමි. පරිශුද්ධවෙමි. සෝදන ලද්දේවෙමි. පිරිසිදුවූයේ පිරිසිදු වස්තු අයිති බුදුන්ගේ ළෙහි වැඩුණු පුත්‍රයෙක් වූයෙමි.
349. “අංග අටකින් යුත් මාර්ගයට බැස සියලු පව් පා කර හැරියෙමි. ත්‍රිවිද්‍යාවන් ලැබුවෙමි. බුදුන්ගේ අවවාදය කෙළෙමි.”
ආයුෂ්මත් ගයා කාශ්‍යප තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
7. ගයා කාශ්‍යප ථේර ගාථා
5. 1. 8.
350. “වාත ලෙඩකින් පෙළුනු මහා වනයෙහි වාසය කරන්නාවූ ප්‍රත්‍ය පහසු නැති මහණ ඔබ කෙසේ වාසය කරන්නෙහිද?”
351. “මහත්වූ ප්‍රීති සැපයෙන් ශරීරය පතුරුවමින් රළුවුවද ඉවසමින් වනයෙහි වාසය කරන්නෙමි.
352. “සතිපට්ඨානයන්ද, ඉන්ද්‍රියයන්ද, බල ධර්මද දියුණු කරමින් බොජ්ක්ධංගද වඩමින් වනයෙහි වාසය කරන්නෙමි.
353. “පටන් ගන්නාලද වීර්ය ඇති නිවන වෙත යොමු කළ සිත් ඇති නිතර දෘඪ වීර්යයෙන් යුක්තව සමගිවූ සමානයන් දැක වනයෙහි වාසය කරමි.
354. “ශ්‍රේෂ්ඨවූ හික්මුනාවූ එකඟවූ සිත් ඇති බුදුන් සිහි කරමින් කම්මැලි නැතිව රෑ දාවල් වනයෙහි වාසය කරන්නෙමි.”
ආයුෂ්මත් වක්කලී තෙරණුවෝ මේ ගාථා කීහ.
8. වක්කලී ථේර ගාථා
5. 1. 9.
355. “චිත්තය තොපගේ මාර්ගය කුඩා දොරටුවකින් ඇතෙකු මෙන් වලක්වන්නෙමි. මාර දැලක්වූ සිත, තෝ පාපයෙහි නොයොදවන්නෙමි.
356. “දොරටුවක් නොලැබෙන ඇතෙකු මෙන් තෝ වැලැක්කේ නොයන්නෙහිය. සිත නැමැති කාලකණ්නිය, නැවත නැවත වලක්වන්නේ පාපයෙහි ඇලුනෙක් නොවන්නෙහිය.
357. “ඇත්ගොව්වා අලුත අල්වා ගත් නොහික්මුණු ඇතෙකු යම්සේ නොකැමැති පරිද්දෙන් නවත්වයිද, මෙසේ තොප නවත් වන්නෙමි.
358. “ශ්‍රේෂ්ඨ අසුන් දමනය කිරීමෙහි දක්ෂවූ උතුම් අස්ගොව්වෙක් ආජානීය අශ්වරාජයෙකු දමනය කරයිද, ශ්‍රද්ධාදී පඤ්චබලයෙහි පිහිටා තොප මෙසේ දමනය කරන්නෙමි.
359. “තොප සිහියෙන් බඳින්නෙමි. පිරිසිදුවූයේ චොදනා කරන්නෙමි. වීර්යය නමැති වියගහෙන් කම්පා කෙළේ සිතමින් ඈතට නොයන්නේය.”
ආයුෂ්මත් විජිතසෙන තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
9. විජිතසෙන ථේර ගාථා
5. 1. 10.
360. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ.
361. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි.
362. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද දිය නැති විල්හි මසෙකු මෙන් සද්ධර්මයෙන් පිරිහේ.”
363. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කුඹුරෙහි කුණුවූ බීජ මෙන් සද්ධර්මයෙහි නොවැඬේ.
364. “යමෙක් සතුටු සිතින් බුද්ධාවවාදය අසයිද, සියලු පව් නසා රහත් බව ප්රත්යක්ෂකොට පරම ශාන්තියට පැමිණ කෙලෙස් රහිතව පිරිනිවන්පායි.”
ආයුෂ්මත් යස දන්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. යසදන්ත ථේර ගාථා