4. 1. 9.
299. “රනින් වැසුණු ආභරණ පැළඳි දාසී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ, පුත්රයා ඇකයෙන් ගෙන භාර්යාව මාවෙත පැමිණියාය,
300. “අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දැමූ මරු පාසයක් වැනි තම පුත්රයාගේ මව දැක
301. “ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දෝෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
302. “ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්රිවිද්යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
ආයුෂ්මත් චන්දන තෙර මෙසේ මේ ගාථා කීයේය.
චන්දන ථේර ගාථා
4. 1. 10.
303. “දශකුශල ධර්මය ඒකාන්තයෙන් ධර්මචාරී පුද්ගලයා රකියි. යහපත්කොට පුරුදු කළ ධර්මය සැප ගෙනදෙයි. පුරුදු කළ ධර්මයෙහි මේ ආනිසංසය ධර්මචාරී පුද්ගලයා දුගතියකට නොයවයි.
304. “ධර්මය අධර්මය යන දෙක සමාන විපාක දෙන්නේ නොවේ. අධර්මය අපායට යවයි. ධර්මය නිවනට යවයි.
305. “එසේ හෙයින් ධර්මයෙහි ආශාව කරන්නේය. නොසෙල්වෙන බුදුන් කෙරෙහි සතුටුවන්නේ ධර්මයෙහි ආශාව කරන්නේය. ධර්මයෙහි සිටියාවූ ශ්රේෂ්ඨ පිහිට අනුව යන ප්රඥා වන්තයෝ නිවනට පමුණුවත්.
306. “අවිද්යාව දුරුකරණලදී. තෘෂ්ණා දැල නසනලදී. ඒ මම ක්ෂය කළ සංසාරය ඇත්තෙම් දොස් නැති කලා සම්පූර්ණ සඳ මෙන් ක්ෂය කළ සංසාරය ඇත්තේ රාගාදී ක්ලේශයන් නැත්තෙක්වීමි.”
ආයුෂ්මත් ධම්මික තෙර මෙසේ මේ ගාථාව කීයේය.
ධම්මික ථේර ගාථා
4. 1. 11.
307. පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැ ඇති වලාකුලට බියෙන් තැතිගත්තාහු තමාගේ කූඩුව සොයා යති. එකල්හි අජකරණි නදිය මගේ සිත සතුටු කරයි.
308. “පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැති වලාකුලට බියෙන් තැතිගත්තාහු සැඟවීමට තැනක් නැතිව ලෙනක් සොයත්ද, එකල්හි අජකරණි නම් නදිය මගේ සිත සතුටුකරයි.
309. එහි දෙපසෙහි දඹ ගස් කවරෙකුගේ සිත් නො අලවත්ද, මගේ ලෙන පිටිපස ගං ඉවුර අලංකාර කරත්.
310. “ඒ මැඩියෝ සර්ප සමූහයාගෙන් දුරුවූ ඒ ස්ථානයෙහි මිහිරි හඬින් නාදකරත්. අද පර්වතය නදීන්ගෙන් ඈත් විය යුතු දිනයක් නොවේ. බිය නැති අජකරණි නදිය ඉතා යහපත්ය.”
ආයුෂ්මත් සප්පක තෙර මෙසේ මේ ගාථා කීයේය.
සප්පක ථේර ගාථා