3. 1. 6.
234. “පැළලුප් නුවර වැසි විසිතුරු ධර්ම කථා ඇති, බොහෝ උගත් ශ්‍රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ දීර්ඝායුෂ ඇති ඛුජ්ජසොභිතවූ ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
235. “පැළලුප් නුවරවැසි විසිතුරු ධර්ම කථා ඇති බොහෝ උගත් ශ්‍රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ වාතයෙහි ගමන් කරන ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
236. “කෙලෙස් යුද්ධයෙන් ධර්මය පිදීමෙන්, කෙලෙස් පැරදවීමෙන් බ්‍රහ්මචර්ය පුරුදු කිරීමෙන් මෙසේ මේ සැපට පැමිණේ.”
ආයුෂ්මත් බුජ්ජසොභිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
6. ඛුජ්ජසොභිත ථේර ගාථා
3. 1. 7.
237. “මේ ලෝකයෙහි මනුෂ්‍යයන් අතුරෙහි යම් කෙනෙක් සතුන් මරාද මෙලොවින්ද පරලොවින්ද යන දෙලොවින් ඒ මනුෂ්‍යතෙමේ පිරිහෙයි.
238. “මෛත්‍රී සිතින් යම් කෙනෙක් සියලු ප්‍රාණීන්ට අනුකම්පාකරයිද, ඒ කරණකොටගෙන එබඳු මනුෂ්‍යතෙම බොහෝ පින් රැස්කරයි.
239. “සුභාෂිතයෙහිත්, ශ්‍රමණයන් ආශ්‍රය කිරීමෙහිත්, තනිව එක ආසනයෙහි සිටීමේත්, සිත සංසිඳවීමෙත් හික්මෙව්.”
ආයුෂ්මත් වාරණ තෙර මෙසේ මේ ගාථා කීයේය.
7. වාරණ ථේර ගාථා
3. 1. 8.
240. “ශ්‍රද්ධාවත්වූ ඤාණවන්තවූ ධර්මිෂ්ඨවූ සිල්වත්වූ ඒ එක් තැනැත්තා නමුත් ශ්‍රද්ධාව නැති මේ ඤාතීවූ දන්නාවූ හිතවතුන්ට වඩා යහපත් වේ.
241. “ඥාති බන්ධු ආශාවෙන් භික්ෂූන් අතර ක්‍රියාකොට මා විසින් නිග්‍රහ කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් ඥාතීන්ට චොදනා කරණලදී.
242. “ඉක්මගියාවූ කළුරිය කළ ඔව්හු දිව්‍යසම්පත්තියට පැමිණියාහුය. මගේ සහෝදරවරුද මවුද කැමති දේ ලැබ සතුටුවෙත්.”
ආයුෂ්මත් පස්සික තෙර මෙසේ මේ ගාථා කීයේය.
8. පස්සික ථේර ගාථා
3. 1. 9.
243. “දන්තිලතා නම් වැලක පුරුකක් වැනි කෙට්ටුවූ නහර මතුවීගිය, ආහාරපානයන්හි පමණ දන්නාවූ කම්මැලි නැති ස්වභාව ඇති පුරුෂ තෙමේ,
244. “කැලේ මහවනයෙහි ඩැහැලේ බොන මැස්සන්ගෙන් හා, මදුරුවන්ගෙන් ස්පර්ශ කරණ ලද්දේ යුද පෙරමුණක ඇතෙකු මෙන් සිහි ඇතිව එහිම ඉවසන්නේය.
245. “බ්‍රහ්මයා යම්සේද එසේම තනියම හැසිරෙන්නේ සැපය. දෙවියන්ට සේ දෙදෙනෙකුවූ විට සිතේ කිපීම වන්නේය. තුන්දෙනෙකුගේ වාසය ගමේ විසීමක් මෙනි. තුන්දෙනෙකුට වඩා සිටින තැන කෝලාහලයකි.”
ආයුෂ්මත් යසොජ තෙර මෙසේ මේ ගාථා කීයේය.
9. යසොජ ථේර ගාථා