3. 1. 13.
255. “යම්තාක් මෙහි රැස්වූ සියලු ඥාතීහු අසව්. තොපට ධර්මය දෙසන්නෙමි. නැවත නැවත ඉපදීම දුක්වෙයි.
256. “බුද්ධශාසනයෙහි ප්‍රථම වීර්යය කරව්. ඉන්වඩාත් වීර්ය කරව්. ශ්‍රේෂ්ඨශීල ශ්‍රේෂ්ඨ ශික්ෂාවෙහි යෙදෙව්. ඇතා හුණවනයක් මෙන් මාරසේනාව කම්පා කරව්.
257. “යමෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමාදව වසන්නේද උත්පත්තිය නමැති සසර හැර දුක්කෙළවර කරන්නේය.”
ආයුෂ්මත් අභිභුත තෙර මේ ගාථා මෙසේ කීයේය.
13. අභිභුත ථේර ගාථා
3. 1. 14.
258. “හැසිරෙන්නේ නිරයට ගියෙමි. නැවත නැවත ප්‍රේත ලෝකයට ගියෙමි. තිරිසන් යොනියෙහි දුකට ගියෙමි. නොයෙක් ප්‍රකාරයෙන් මෙතැන්හි බොහෝ කලක් මා විසින් වසනලදී.
259. “මා විසින් මනුෂ්‍යභවයද අමාරුවෙන් ලබන ලද්දේය. එක්වරක් දෙවරක් ස්වර්ග සම්පත්තියට පැමුණුනෙමි. රූපලෝකයෙහිද අරූපලෝකයෙහිද සංඥාව ඇති නැති තැන්හිද සංඥාව නැති තැනද උපන්නෙමි.
260. “හේතු ප්‍රත්‍යයෙන් හටගත්දෙය, හරයක් නැති ලෙස දන්නාලදී. සංස්කාරයෝ ස්ථිරනොවූහ. බිඳෙන සුළුය තමන්ට අයත්වූ එය දැන සිහි ඇත්තේ නිවනම ලබන්නේය.”
ආයුෂ්මත් ගොතම තෙර මෙසේ මේ ගාථා කීයේය.
14. ගොතම ථේර ගාථා
3. 1. 15.
261. “ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
262. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
263. “යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
ආයුෂ්මත් හාරිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
15. හාරිත ථේර ගාථා
3. 1. 16.
264. “පාපමිත්‍රයන් දුරුකොට උතුම් පුද්ගලයන් ආශ්‍රය කරන්නේය. නොසෙල් වෙන සැපය පතමින් ඒ උතුම් පුද්ගලයාගේ අවවාදයෙහි සිටින්නේය.
265. “කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
266. “කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්‍යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.”
ආයුෂ්මත් විමලතෙර මෙසේ මේ ගාථා කීයේය.
16. විමල ථේර ගාථා
උද්දානය:
අංගාණික භාරද්වාජ ද, පච්චය ද, බක්කුල ඍෂි ද, ධනිය ද, මාතංගපුත්ත ද, ඛුජ්ජසෝභිත ද, වාරණ ඍෂි ද, පස්සික ද, යසෝජ ද, සාටිමත්තිය ද, උපාලි ද, උත්තරපාල ද, අභිභූත ද, ගෝතම ද, හාරිත ද, විමල තෙරුන් ද යන මේ තික නිපාතයෙහි ගාථා හතළිස් අටකි. තෙරවරු සොළොස් දෙනෙක් කීර්තිමත් කරණ ලදහ.
තිකනිපාතො නිට්ඨිතො.