3. 1. 11.
249. “ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නොවූ යහපත් මිත්‍රයන් ආශ්‍රය කරන්නේය.
250. “ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ සංඝයා කෙරෙහි වාසය කරණ ඤාණවන්ත මහණ තෙමේ විනයෙහි හික්මෙන්නේය.
251. “ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ තෘෂ්ණාදිය පෙරටු නොකොට කැප ඇකැපයෙහි දක්ෂව හැසිරෙන්නේය.”
ආයුෂ්මත් උපාලි තෙර මේ ගාථා මෙසේ කීයේය.
11. උපාලි ථේර ගාථා
3. 1. 12.
252. “අර්ථ කල්පනා කිරීමට සමර්ථවූ පණ්ඩිතවූ මා ලෝකයෙහි පස්කම් රසය තෙමේ මුලාවට දැම්මේය.
253. “ඇනුණු තද හුලක් සමානව මාරයාගේ වසඟයට දුවන්නේ මර රජහුගේ තොණ්ඩුවෙන් බේරෙන්නට නොහැකිවිය.
254. “මාගේ සියලු කාමයෝ ප්රහීනය. සියලු භවයෝ ලිහා දමන ලද්දාහ. ජාතියෙන් ජාති ඉපදීම්යයි කියනලද පුනර්භවය දැන් නැත.”
ආයුෂ්මත් උත්තරපාල තෙර මේ ගාථා මෙසේ කීයේය.
12. උත්තරපාල ථේර ගාථා
3. 1. 13.
255. “යම්තාක් මෙහි රැස්වූ සියලු ඥාතීහු අසව්. තොපට ධර්මය දෙසන්නෙමි. නැවත නැවත ඉපදීම දුක්වෙයි.
256. “බුද්ධශාසනයෙහි ප්‍රථම වීර්යය කරව්. ඉන්වඩාත් වීර්ය කරව්. ශ්රේෂ්ඨශීල ශ්‍රේෂ්ඨ ශික්ෂාවෙහි යෙදෙව්. ඇතා හුණවනයක් මෙන් මාරසේනාව කම්පා කරව්.
257. “යමෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමාදව වසන්නේද උත්පත්තිය නමැති සසර හැර දුක්කෙළවර කරන්නේය.”
ආයුෂ්මත් අභිභුත තෙර මේ ගාථා මෙසේ කීයේය.
13. අභිභුත ථේර ගාථා
3. 1. 14.
258. “හැසිරෙන්නේ නිරයට ගියෙමි. නැවත නැවත ප්‍රේත ලෝකයට ගියෙමි. තිරිසන් යොනියෙහි දුකට ගියෙමි. නොයෙක් ප්‍රකාරයෙන් මෙතැන්හි බොහෝ කලක් මා විසින් වසනලදී.
259. “මා විසින් මනුෂ්යභවයද අමාරුවෙන් ලබන ලද්දේය. එක්වරක් දෙවරක් ස්වර්ග සම්පත්තියට පැමුණුනෙමි. රූපලෝකයෙහිද අරූපලෝකයෙහිද සංඥාව ඇති නැති තැන්හිද සංඥාව නැති තැනද උපන්නෙමි.
260. “හේතු ප්‍රත්‍යයෙන් හටගත්දෙය, හරයක් නැති ලෙස දන්නාලදී. සංස්කාරයෝ ස්ථිරනොවූහ. බිඳෙන සුළුය තමන්ට අයත්වූ එය දැන සිහි ඇත්තේ නිවනම ලබන්නේය.”
ආයුෂ්මත් ගොතම තෙර මෙසේ මේ ගාථා කීයේය.
14. ගොතම ථේර ගාථා
3. 1. 15.
261. “ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
262. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
263. “යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
ආයුෂ්මත් හාරිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
15. හාරිත ථේර ගාථා