70. 1. 1.
1220. “ගිහිගෙයින් නික්ම පැවිදිවූ මට පාප විෂයෙහි පවත්නා චිත්ත සංකල්පයෝ ඇතිවන්නාහුය.
1221. “එකල්හි ධනුශ්ශිල්පයෙහි මනාකොට හික්මුණාවූ ධනුර්ධරයන් විසින් විදිනුලබන්නාවූ හී තල ස්වකීය පාද මූලයෙහි හෙලන්නේ යම්සේද,
1222. “එසේම බොහෝකොට එනු ලබන ස්ත්‍රීන් නිසා ඇතිවන රූපාදී පංචශරයන් ධර්මයෙහි පිහිටි මම නොපෙළෙනාකාරයෙන් හෙළමි.
1223. “ආදිච්ච බන්ධුවූ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නුම්කරන ලද නිර්වාන මාර්ගයක්වේද, එහි මගේ සිත පිහිටියේ වෙයි.
1224. “එසේ වාසය කරන්නාවූ මා කරා මාරය, තෝ පැමිණෙන්නෙහිද? මා ගිය මාර්ගය නොදක්නා පරිද්දෙන් මාරය, තොපට මම කරන්නෙමි.
1225. “අධි කුශලයෙහි නොයෙදීමද, පංචකාමයෙහි යෙදීමද, දුරුකොට සියලු මිථ්‍යා විතර්කයන් හැර තෘෂ්ණාව නොකරන පරිද්දෙන් භික්ෂුව තණ්හා නැතිකරයි.
1226. “පෘථිවිගතවූද, අහස්හිවූද, ලෝකය පිළිබඳ පවත්නා සියලුම රූපාදී අරමුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලා ඤාණවන්තයෝ වාසය කෙරෙත්.
1227. “දිට්ඨ සුත මුත ආදී උපධීන්හි අන්ධ බාල පෘථග්ජනයෝ ඇලී වාසයකෙරෙත්ද, ඤාණවන්තයෝ එය දුරුකොට දමා නොඇලී වාසය කරත්.
1228. “දෙසැටක් මිථ්‍යාගතවූ අධර්ම විතර්කයෝ පෘථග්ජනයන් විසින් ඇතිකරනලදද භික්ෂුව වනාහි ඒ මිථ්‍යා විතර්කයන් නොගන්නාහුය.
1229. “පණ්ඩිත ස්වභාව ඇති පුද්ගලයා බොහෝ කලක පටන් සමාහිතවූයේ කුහකකමින්ද, කෛරාටික කමින්ද තොරව දක්ෂවූයේ තෘෂ්ණාව නැත්තේ ශාන්තිපදයට පැමිණ පරිනිර්වාණය කරයි. අනුපධිෂෙශ නිර්වාණකාලය බලාපොරොත්තු වෙයි.
1230. “ගෞතමය, ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමියි ආදී නවාකාර මානය දුරුකරව, මානපථ නම්වූ අයොනිසොමනසිකාරයද දුරුකරව, එසේ දුරුකළ කල්හි විපිළිසරවීමක් නොවේ.
1231. “මකු ගුණයෙන් වඩනාලද්දාවූද මාන්නයෙන් නසනලද ගුණ ඇත්තාවූද සත්වයෝ නරකයට පැමිණෙත්. ඒ ගුණ නසාගත්තාවූ පුද්ගලයෝ නරකයට පැමිණියාහු බොහෝ කලක් ශෝක කරත්.
1232. “සම්‍යක් ප්‍රතිපත්තියෙන් මාර්ගය දිනුවාවූ භික්ෂුව කිසිකලෙකත් ශෝක නොකරයි. ධර්මය දක්කාවූ ඒ පණ්ඩිත තෙම කීර්තියද, සැපයද අනුභව කරයි.
1233. “ඒ නිසා අන්‍යදෘෂ්ටි නමැති උල් නොමැතිව යහපත් වීර්යයෙන් යුක්තවී පිරිසිදු සිත් ඇතිව මානය දුරුකොට කෙලෙස් සමනය කිරීමෙන් ත්‍රිවිද්‍යාව ලබව.
1234. “ගෞතමයන් වහන්ස, මගේ සිත කාම රාගයන්ගෙන් දැවෙයි. විශේෂයෙන්ම දැවෙයි. අනුකම්පාකොට එය නිවීමට ධර්මයක් ප්‍රකාශකරනු මැනව.
1235. “සංඥා විපර්යාසය නිසා තොපගේ සිත දැවෙන්නේය ශුභ වශයෙන් ගත් රාග නිශ්‍රිත අරමුණ දුරුකරව.
1236. “සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද බලව. එසේ බලා රාගය නිවාගනුව. නැවත නැවත නොදැවෙව.
1237. “එකඟවුනාවූ සිතින් යුක්තව අසුභ භාවනාව වඩව. සිහිය කයෙහි පිහිටුවා ගනිමින් කලකිරීම බහුලකොට වසව.
1238. “අනිච්චානුපස්සනාවද වඩව, මානානුසය දුරුකරව, එසේ දුරුකිරීමෙන් උපශාන්තව හැසිරෙව.
1239. “යම් වචනයක් නිසා තමන්ට තැවීමක් නැත්තේද අනුන්ට හිංසාවකුත් නැත්තේද, එබඳු වචනම කිවයුතුය. ඒ සුභාෂිත වචන නම් වෙති.
1240. “පිළිගතහැකි ප්‍රිය වචනම කියයුතුය. අනුන්ට වරදක්වන වචන නොකිය යුතුයි.
1241. “සත්‍ය වචන වනාහි අමෘත වචන නම් වෙති. මේ ධර්මය පෞරාණිකයි. සත්‍යයෙහිද, අර්ථයෙහිද, ධර්මයෙහිද පිහිටියාහු සත්පුරුෂයෝ නම් වෙත්.
1242. “දුක් නැතිකිරීමට හා නිවන් ලැබීමට හේතුවන බුදුන් විසින් දේශනා කරණලද යම් වචනයක්වේද, වචනයන් අතුරෙන් එය උත්තම වන්නේය.