2. 4. 9.
197. (පෙර) “ඇතෙකු පිට සිට අඹ දළු සමාන පබළු පාට ඇති සිවුර අංශයකින් දරා ගමෙහි පිඬු පිණිස හැසුරුණෙමි.
198. “එකල්හි ඇතුපිටින් බැස කලකිරීමට පැමිණියෙමි. ඒ මම එකල්හි බැබලුණේ ශාන්තවූයේ මා විසින් කෙලෙස් ක්ෂයකිරීමට පමුණුවන ලදී.”
ආයුෂ්මත් උසභ තෙර මෙසේ මේ ගාථා කීයේය.
උසභ ථේර ගාථා
2. 4. 10.
199. “කප්පටකුර තෙමේ මේ මාගේ වස්ත්‍ර කැබැල්ලයයි ඇඳගන ඉතා බර බැවින් මාගේ ධර්මය ඒ ඒ තැන දේශනා කරන කල්හි යම්තම් භාවනාවක් කරණ ලද්දේ, ධ්‍යාන භාවනා කරන්නට කරණ ලද, උත්සාහය ඇතිව සිටි ඔහුට චොදනාකොට.
200. “කප්පටකුරය, නුඹ නොනිදව. තොපගේ කණ සමීපයෙහි නොතලන්නෙමි. කප්පටය, සංඝයා මැද නිදන නුඹ කාලයේ වටිනාකම නොදන්නෙහිය”
ආයුෂ්මත් කප්පටකුර තෙමේ මෙසේ මේ ගාථා කීයේය.
කප්පටකුර ථේර ගාථා
වග්ගො චතුත්ථො නිට්ඨිතො.
එහි උද්දානය:
මිගසිර ද, සීවක ද, පණ්ඩිත වූ උපවාන ද, ඉසිදින්න ද, කච්චාන ද, මහාවසී වූ ඛිතක ද, සෙලිස්සරිය ද, නිසභ ද, උසභ ද, කප්පටකුර දැයි (මේ තෙරවරු වෙති).
5. පඤ්චමවග්ගො
2. 5. 1.
201. “යම් තැනෙක මෙබඳු ධර්මයක් ශ්‍රාවකතෙමේ අත්දකීද? බුදුවරු ආශ්චර්යයි, ධර්මයෝ ආශ්චර්යයි. අපගේ ශාස්තෲන්වහන්සේගේ දශබලාදී සම්පත්ති ආශ්චර්යයි.
202. “අසංඛ්‍ය ගණන් කල්පයන්හි පඤ්චස්කන්ධය ලැබුවාහු ද, ඔවුන් අතරින් මේ අන්තිමයයි. මේ අන්තිම ශරීරයයි. සංසාරය ඉපදීම මරණය සහිතයි, දැන් නැවත ඉපදීමක් නැත.”
ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙර මෙසේ මේ ගාථා කීයේය.
කුමාර කස්සප ථේර ගාථා
2. 5. 2.
203. “යම්කිසි තරුණ භික්ෂුවක් බුද්ධශාසනයෙහි ඇත්තෙන් ඇලේද, නිදාසිටින්නවුන් අතරෙහි අවදිව සිටියේද, ඔහුගේ ජීවිතය හිස් නැත.
204. “එහෙයින් බුදුන්ගේ අවවාදය සිහිකරන ඤාණවන්තයා ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, චතුරාර්යසත්‍ය ධර්මය දැකීමද, යන මෙහි යෙදෙව්.”
ආයුෂ්මත් ධර්මපාල තෙර මෙසේ මේ ගාථා කීයේය.
ධම්මපාල ථේර ගාථා
2. 5. 3.
205. “අස්ගොව්වා විසින් යහපත්ව දමනයකළ අශ්වයන් මෙන් යමෙකුගේ ඉන්ද්‍රියයෝ සන්සිඳීමට පැමිණියාහුද, මානය ප්‍රහීන කළ කෙළෙස් නැත්තාවූ නොසැලෙන උන්වහන්සේට දෙවියෝ ද ප්‍රශංසා කරත්.
206. “අස්ගොව්වා විසින් යහපත්ව දමනය කළ අශ්වයන් මෙන් මගේ ඉන්ද්‍රියයෝ සංසිඳීමට ගියාහුද, මානය ප්‍රහීන කළ කෙලෙස් නැති නොසැලෙන මට දෙවියෝද, ස්තුති කරත්.”
ආයුෂ්මත් බ්‍රහ්මාලී තෙර මෙසේ මේ ගාථා කීයේය.
බ්‍රහ්මාලි ථේර ගාථා