40. චත්තාළීස නිපාතය
1. මහා කස්සප ථේර ගාථා
1056. “භික්ෂුගණයා පිරිවරණ ලදුව නොවිසිය යුතුය. පිරිස් පරිහරණය කරන්නහුගේ සිත වික්ෂිප්තවේ. ඔහුට සමාධිය දුර්ලභයි. නානාප්රකාර ජනයාට සංග්රහ කිරීමද දුක් පිණිස වේ. මේ දැක ගණවාසය නො කැමැතිය.
1057. “පැවිදිතෙම කුලයන් හා කුළුපඟ නොවිය යුතුය. කුමක් නිසාද සිත වික්ෂිප්ත වන හෙයිනි. ඔහුට සමෘද්ධියද දුර්ලභයි. කුලයා කෙරෙහි උත්සාහවත් බවට පැමිණියේ රසයට ගිජුවූයේ තමහට සැප පිණිස පවතින යම් අර්ථයක් වේද ඒ අර්ථය දුරුකරයි.
1058. “යම්බඳුවූ වැඳුම් පිදුම් ආදී වශයෙන් කුලයන්හි ලබන සත්කාරයක් වේද ඒ හීනවූ මඩගොහොරුවක් කොට ප්රකාශ කරන ලදහ. සියුම්වූ හුලක් දුරුනොකළ හැකිවා මෙන් සත්කාරය පිළිකුල් කටයුතු පුද්ගලයා විසින් දුරුනොකළ හැක්කකි.
1059. “සේනාසනයෙන් බැස නගරයට පිඬු පිණිස පිවිසියෙමි. අනුභව කරන කුෂ්ටරෝගී පුරුෂයා සකස්කොට උපස්ථාන කළේය.
1060. “කුෂ්ට රෝගයෙන් යුක්තවූ අතින් පිණ්ඩියාලෝපය බෙදන ලදී. ආහාර බෙදන්නහුගේ ඇඟිල්ලක්ද එහි පතිතවිය.
1061. “ගෘහ බිත්තියක් සමීපයේ සිට ඒ ආලොපය අනුභව කෙළෙමි. කන කල්හි හා කෑ කල්හි මට පිළිකුල් බවක් නොවීය.
1062. “ආහාර වශයෙන් මිශ්ර ආහාරයද ඖෂධ වශයෙන් ගෝමූත්ර පානයද සේනාසන වශයෙන් රුක්මුල්ද චීවර වශයෙන් පාංශුකූල චීවරයද යන මේ සතර ප්රියකොට පරිභොග කෙරේද, ඒ පුද්ගලයා චතුද්දිශා යොග්ය පුද්ගලයෙක් වේ.
1063. “පර්වතයට නගින්නාවූ ඇතැම් අය පශ්චිම වයසෙහි ශරීර ක්ලාන්තයෙන් දුකට පැමිණේ. ඒ ජරා දුර්වල කාලයෙහිද බුදුන්ගේ දායාදය උතුම්කොට සලකා නුවණින් යුක්තව ඉර්ධි බලයෙහි උපකාරයෙන් කාශ්යපස්ථවිරයන් වහන්සේ පර්වතයට නගියි.
1064. “කාශ්යප ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලැක්වේද පර්වතයට නැග කිසිවක් තෘෂ්ණා දෘෂ්ටිදෙකෙන් නොගෙණ භය හා භයට හේතුව දුරුකිරීමෙන් ධ්යාන කරයි.
1065. “පර්වතාරූඪවූ කාශ්යප ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකුනේද කිසිවක් නොගෙණ රාගාදී ගිනිවලින් දැවෙන සත්වයන් අතර සිහිල් බවට ධ්යාන කරයි.
1066. “පර්වතාරූඪවූ කාශ්යප ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකුනේද කරන ලද කෘත්ය ඇතිව ආශ්රව ධර්මයන් නසා කිසිවක් නොගෙණ ධ්යාන කරයි.
1067. “වරුණ රුක් පංක්තියෙන් යුක්තවුනාවූ මනෝ රම්ය භූමිභාග ඇත්තාවූද එසේම රම්යවූ හස්ති නාද ඇසෙන්නාවූද ඒ පර්වතයෝ මට රම්යයි.
1068. “නිල්වන් වළාකුළුවලින් ඇදහෙලන පිරිසිදු ජලය ඇත්තාවූද ඉන්දගෝපකයන් විසින් ගැවසීගත්තාවූද ඒ පර්වතයෝ මට රම්යයි.
1069. “කූටාගාරවලට සමානවූ නිල්වළාකුල් ඇත්තාවූද හස්තීන් විසින් ගැවසීගත්තාවූද ඒ පර්වතයෝ මට රම්යයි.
1070. “මහා මේඝයෙන් දූවිලි සිඳදැමූ රම්ය තලාවක් ඇති ශෛලමය පර්වතයෝ ඍෂීන් විසින් සෙවුනාලදහ. මිහිරි නාදයෙන් යුක්තවූ ඒ පර්වතයෝ මට රම්යයි.
1071. “නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ස්මෘතිමත්වූ ධ්යාන කැමැත්තහුට මේ ප්රමාණවෙයි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති අර්ථකාමී භික්ෂුවටද මෙයම ප්රමාණයි.
1072. “නිවණට මෙහෙයූ සිත් ඇත්තාවූද සැප කැමැත්තා වූද භික්ෂුවට මෙයම ප්රමාණයි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාවූද යෝගකාමීවූද තාදී ගුණයෙන් යුක්තවූද මට මේ ප්රමාණයි.
1073. “උම්මා කුසුමයන්ට සමාන කාලමේඝයෙන් නීලවර්ණවූ අහස ඇත්තාවූද නොයෙක් පක්ෂි සමූහයන්ගෙන් ගැවසීගත්තාවූද ඒ පර්වතයෝ මට රම්යයි.
1074. “ගිහියන්ගෙන් නොගැවසුනාවූද මෘග සමූහයාගෙන් ගැවසීගත්තාවූද නොයෙක් පක්ෂි සමූහයාගෙන් ආකීර්ණවූද ඒ පර්වතයෝ මට රම්යයි.
1075. “අතිශයින් සීතලවූද ගල් ඇත්තාවූද ගෝන මුව සමූහයාගෙන් යුක්තවුනාවූද දියසෙවෙල්වලින් ගැවසුනා වූද ඒ පර්වතයෝ මට රම්යයි.
1076. “පසඟතුරු ගොසින්ද ඇතිනොවන ඇල්මක් එකඟවූ සිතින් යුක්තව මනාකොට ධර්මය බලන්නාවූ මට ඇති වන්නේය.
1077. “බොහෝ කටයුතු නොකළ යුතුය. කල්යාණ මිත්ර නොවූ ජනයා දුරුකළ යුතුය. ප්රත්ය සොයාගැනීමට හා ගණ බන්ධනාදී වශයෙන් උත්සාහවත් නොවිය යුතුය. ඊට උත්සාහවත් වීමෙන් රසයට ගිජුවූයේ ඒ සැප කැමති පුද්ගලයා අර්ථයෙන් පිරිහෙයි.
1078. “බොහෝ කටයුතු නොකළ යුතුය. නවකර්මාන්තාදියෙහි යෙදීම දුරුකළ යුතුය. එයින් ශරීරය දුකට හා ක්ලාන්තයට පැමිණේ. එහෙයින් චිත්ත සමථය නොවිඳී.
1079. “සජ්ක්ධායනා කිරීම් මාත්රයෙන් ප්රත්යක්ෂ අර්ථය නොදතහැකිය. මම ශ්රේෂ්ඨමියි යන මාන්යයෙන් යුක්තව යකඩ කූරක් ගිල්ලෙකු මෙන් නොනැමිය හැකි ග්රීවයක් ඇතිව හැසිරෙයි.