2. උදායි ථේර ගාථා
689. “මනුෂ්‍යයෙක්වූද ආත්ම දමනයෙන් යුක්තවූද එකඟවූ සිත් ඇත්තාවූද ශ්‍රේෂ්ඨ විහරණ ඇත්තාවූද නිවනෙහි ඇලුනාවූද යම් බුදුවරයෙක් වේද?
690. “සියලු ධර්මයන්ගේ පරතෙරට පැමුණුනාවූ ඒ බුදුරජාණන් වහන්සේට මනුෂ්‍යයෝ නමස්කාර කරත්. උන් වහන්සේට දෙවියෝද නමස්කාර කරත්. මේ වනාහි මම රහතුන්ගෙන් ඇසුවෙමි.
691. “සියලු සංයෝජනයන් ඉක්මෙව්වාවූද කෙලෙස් වනයෙන් නිවනට පැමිණියාවුද, කාමයෙන් නික්ම නෛෂ් ක්‍රම්‍යයෙහි ඇලුනාවූද පර්වතයෙන් වෙන්කොට ගත් රන්රුවනක් හා සමාන විය.
692. “නාගයෙක් සමානවූ බුදුරජාණන් වහන්සේ තමන්ගේ කැමැත්තට අනුවම ශොභාවත් විය. අන් පර්වත අභිභවනය කොට බබලන හිමාල පර්වතය මෙනි. නාගනාමය ඇති සියල්ලන්ටම වඩා සත්‍යවූ නාගනාමය ඇත්තේ නිරුත්තරවූ බුදුරජාණන් වහන්සේටය.
693. “තොපට නාගයා පෙන්නුම්කර දෙමි. පව් නොකරනුයේ හෙතෙම නාග නම් වේ. සීලයත් කරුණාවත් දෙක ඒ නාගයාගේ ප්‍රථම පාදයෝය.
694. “සිහියත්, ප්‍රඥාවත් ඒ නාගයාගේ චරණයෝය. (පසු පාදයෝය.) නිවැරදි ධර්ම ගැණීමෙහි ශ්‍රද්ධා හස්තයක්ද, උපෙක්ෂා නමැති සුදු දළද වෙත්.
695. “සිහි නමැති ග්‍රීවාද, ප්‍රඥා නමැති සිරසද, කුශල් දහම් විමසන සිතීමේ ශක්තියද සමථ විදර්ශනා නම් දහම් කුසද, ඒ බුද්ධ නාගයාගේ උපධි විවේකය වාලධියද වෙයි.
696. “හෙතෙම ධ්‍යාන කරණසුලු වූයේ නිවනෙහි ඇලුණේ ඵල සමාපත්තියෙන් සමාහිතවූයේ ඒ නාගයා ගමනෙහිද සිටීමෙහිද සන්සුන් ස්වභාවය දක්වයි.
697. “ඒ සංසුන්වූ නාගයා හිඳින කල්හිද, නිදන කල්හිද, සංසුන්ව හිඳියි. නාගයා සියලු තන්හිම සංවරව වෙසෙයි. මේ වනාහි නාගයාගේ සම්පත්ති ගුණය වෙයි.
698. “වැරදි සහිත දේ නුබුදියි. නිවැරදි දේ වළඳයි. බඩගිනි නිවාගැණීම උතුම් කොට ඇත්තේ රැස්කිරීම නොකරයි.
699. “කුඩාවුද, මහත්වූද, සියලු සයෝජන බන්ධනයන් සිඳ දමා යම් යම් තැනකට යේ නම් බලාපොරොත්තුවක් නැතුවම ගමන් කරයි.
700. “සුවඳ ඇති මනොරම්‍යවූ දියෙහි හටගත් පියුම දියෙහි තැවරීමක් නැතුව යම්සේ වැඬේද?
701. “එසේම ලෝකයෙහි උපන්නාවූ බුදුන්වහන්සේද ලෝකයා සමග නොගැටී වෙසෙයි. දියෙහි වැඩුන පියුමක් වැනිය.
702. “මහ ගින්න වුවද උපකරණ නොලැබීමෙන් සංසිඳෙයි. අඟුරු නිවිකල්හි නිවීමද වෙයි.
703. “මේ අර්ථය දැනගැණීමට උපමාවකි. ඥානවන්තවූ බුදුන් විසින් දේශනා කරන ලද ධර්මය, ඥානවන්තයෝම දැන ගනිති. තථාගත මහා නාගයා ඇසුරු කරන්නේද, ක්ෂීණාශ්‍රවවූම නාගයෝය.
704. “පහකළ රාගය ඇත්තාවූද පහකළ ද්වේෂය ඇත්තාවූද, පහකළ මෝහය ඇත්තාවූද, ආශ්‍රවයෝ ක්ෂය කළාවූද, ක්ෂීණාශ්‍රව නාගතෙමි ශරීරය හරිනුයේ පරිනිර්වාණය කරන්නාහුය.”
මෙනයින් ආයුෂ්මත් උදායී තෙරණුවෝ මේ ගාථාවන් වදාළ සේක.
උදායී තෙරණුවන්ගේ ගාථායි.
එහි උද්දානය:
කොණ්ඩඤ්ඤ ද උදායී ද යන මහත් ඍද්ධි ඇති තෙරවරු දෙදෙනෙකි. සොළස නිපාතයෙහි ගාථා තිස් දෙකක් වේ.
සොළසක නිපාතය නිමි.