14. චතුද්දසක නිපාතය
1. රෙවත ථේර ගාථා
645. “යම් කලෙක මම ගිහිගෙයින් නොගිහි බැව් නම්වූ ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූයෙම්ද එතැන් පටන් අනාර්යවූද, දෝෂ සහිතවූද, චිත්ත සංකල්පනාවෝ ඇති කළ බව නොදනිමි.
646. “මේ දීර්ඝ කාලය ඇතුළත මොව්හු (මේ සත්වයෝ) නැසෙත්වා කියාද, දුකට පැමිණෙත්වා කියාද චිත්ත සංකල්පනා වශයෙන් ඇතිකළ බවක් නොමදනිමි.”
647. “මෛත්‍රී ආදී සතර බ්‍රහ්ම විහරණ භාවනාව වැඩූ බව දනිමි. අප්‍රමාණ සතුන් අරමුණුකොට වඩන්නාවූ ඒ භාවනාව මනාකොටම වැඩුවෙමි. බුදුන් යම් පරිද්දකින් දේශනා කරන ලදද එපරිද්දෙන් පිළිවෙලින් වැඩුවෙමි.
648. “හැමකල්හි සියලු සත්වයන්ට හිත සැප කැමැතිවනු ලබන්නේ සියල්ලෝ මිත්‍රයන් කොටද, යහළුවන් කොටද සලකා සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇතිව මෛත්‍රී සිත වැඩුවෙමි.
649. “ආසන්නවූ විරුද්ධකාරයෙකුවූ රාගයට ඇදිය නොහැකි පරිද්දෙන්ද දුරසිටින විරුද්ධකාරයින්ට ප්‍රකොප නොකළ හැකි පරිද්දෙන්ද මෛත්‍රී සිත මම සතුටින් වැඩුවෙමි. එසේම නීච ජනයන් විසින් නොසෙවුනාවූද බුද්ධාදීන් විසින් සෙවුනා ලද්දාවූද බ්‍රහ්ම විහරණ භාවනාව වැඩුවෙමි.
650. “බුද්ධ ශ්‍රාවකයෙකුවූ මම ද්විතීය ධ්‍යාන සමාපත්තියට පැමිණියේ ආර්ය තුෂ්ණිම් භාවයෙන්ද යුක්තවූවෙක් වීමි.
651. “යම් පරිද්දකින් ගල් පර්වතය නොසෙල්වන ස්වභාවයෙන් යුක්තව මනාකොට පිහිටියේද එපරිද්දෙන්ම මෝහය දුරුකළ භික්ෂූන් වහන්සේ පර්වතයක් මෙන් නොසෙල්වී සිටී.
652. “රාගාදී කෙලෙස් රහිතවූද නිතර පිරිසිදු බව සොයන්නාවූද සත්පුරුෂයාට කෙසඟක් පමණවූ අල්පමාත්‍ර පාපයද බොහෝ ලොකු දෙයක් මෙන් වැටහේ.
653. “යම්සේ පිටිසරබද නගරයක් ඇතුළත පිටත ප්‍රාකාර ආදිය දැමීමෙන් ආරක්ෂා කෙරේද, එසේම තෙපිද ආධ්‍යාත්මික සදොර වැසීමෙන් ආරක්ෂාව ඇතිකර ගනිව්, තොප විසින් ක්ෂණ සම්පත්තිය හැර නොදමව්.
654. “මරණයටද කැමති නොවෙමි. ජීවිතයට කැමති නොවෙමි. කුලියට වැඩ කරන්නෙක් මෙන් කාලය අපේක්ෂා කරමි.
655. “මරණයටද කැමති නොවෙමි. ජීවිතයටද කැමති නොවෙමි. නුවණිනුත් සිහියෙනුත් යුක්තව කාලය අපේක්ෂා කරමි.
656. “මා විසින් ශාස්තෲන්වහන්සේ ඇසුරු කරන ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි. මහත් බර බහා තැබුවෙමි. භවයාගේ කෙළවර සිඳ දැමුවෙමි.
657. “යම් අර්ථයක් නිසා ගිහි ගෙයින් නොගිහි බැව් නම්වූ ප්‍රව්‍රජ්‍යාවට පැමිණියෙම්ද, මා විසින් ඒ අර්ථය සිද්ධ කර ගතිමි. සියලු සංයෝජන ධර්මයන්ද දුරු කෙළෙමි.
658. “අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මේ වනාහි මාගේ අනුශාසනාවයි. ක්ලෙශයන්ගෙන් මිදුනාවූ මම පරිනිර්වාණය කරමි.”
මෙනයින් ආයුෂ්මත් ඛදිරවනිය රෙවත තෙරණුවෝ මේ ගාථාවන් වදාළ සේක.
ඛදිරවනිය රෙවත තෙරණුවන්ගේ ගාථායි.
2. ගොදත්ත ථේර ගාථා
659. “යම්සේ කරත්තයේ බැඳි ඉසිලීමට සමත්වූ ශ්‍රේෂ්ඨවූ ගවයා මහත් බරින් මඩනා ලද්දේද කරත්තයේ බැඳීම අත්නොහරියි.
660. “එසේම ජලයෙන් සමුද්‍රය තෘප්තිමත් නොවන්නාක් මෙන් ලෞකික ලොකොත්තර ප්‍රඥාවෙන් තෘප්තිමත් නොවන්නාවූ පුද්ගලයාද අනුන් පහත්කොට නොසලකයි. සත්වයින්ට ආර්ය ධර්මය සැප පිණිස පවතී.
661. “සුභික්ෂ කාලය හා දුර්භික්ෂ කාලයට පැමිණියාවූද, දියුණුවට හා පරිහාණියට පැමිණියාවූද මනුෂ්‍යයෝ දුකට පැමිණෙත්. මේ ලෝකයෙහි ඒ මනුෂ්‍යයෝ ශෝක කරත්.
662. “සැප හේතූන් නිසා උසස් භාවයටද දුක් හේතූන් නිසා පහත් භාවයටද යන කරුණු දෙකෙන් අඥාන සත්වයෝ තත්වූ පරිදි නොදැනීමෙන් වෙහෙසට පත්වෙයි.
663. “යම්බඳුවූ ආර්යයෝ වෙත්ද, සැපදුක් දෙකෙහිදීම මධ්‍යස්ථව සිටීමෙන් නුවර දොර සිටවූ ශක්තිමත් කණුවක් මෙන් නොසැලී සිටී. ඒ උත්තමයෝ උසස් බවට හා පහත් බවට නොපැමිණෙත්.
664. “එසේම ලාභයෙහිද, අලාභයෙහිද කීර්තියෙහිද අපකීර්තියෙහිද නින්දාවෙහිද, ප්‍රශංසාවෙහිද, සැපයෙහිද, දුකයෙහිද, වෙනස් නොවෙයි.
665. “ඒ රහතුන් වහන්සේලා රූපාදී සියලු විෂයයන්හි නොඇලෙත්. නෙළුම් කොළෙයෙහි දිය නොරැඳෙන්නාක් මෙනි. ඒ වීරවරයෝ සෑමතන්හිම සුවපත්වද සෑම තන්හිම නොපැරදීද වෙසෙත්.
666. “ධර්මයෙන් ලබන අලාභයත්, අධර්මයෙන් ලබන ලාභයත් යන දෙකින් ධාර්මික අලාභය ශ්‍රේෂ්ඨ වශයෙන් සලකයි. අධර්මයෙන් ලබන ලාභය ශ්‍රේෂ්ඨකොට නොසලකයි.
667. “අඥානයින්ගෙන් ලබන කීර්තියක් වේද, ඥානවන්තයින්ගෙන් ලබන අපකීර්තියක්වේද, ඒ දෙකින් ඥානවන්තයින්ගේ අපකීර්තිය ශ්‍රේෂ්ඨ වශයෙන් සලකයි. අඥානයින්ගෙන් ලබන කීර්තිය ශ්‍රේෂ්ඨකොට නොසලකයි.
668. “මෝඩයින්ගෙන් ප්‍රශංසාවකුත්වේද, ඤානවන්තයින්ගෙන් ලබන ගර්හාවකුත්වේද, ඒ දෙකෙන් ඤාණවන්තයින්ගෙන් ලබන ගර්හාව ශ්‍රේෂ්ඨකොට සලකයි. අඥානයින්ගෙන් ලබන ප්‍රශංසාව ශ්‍රේෂ්ඨකොට නොසලකයි.