12. 1. 2.
620. “මම නීච කුලයෙහි උපන්නේ ස්වල්ප ආහාර ඇති දිළින්දෙක් වීමි. පරමල් අස්කරන පහත් කර්මාන්තයකද යෙදී සිටියෙමි.
621. “මිනිසුන් විසින් පිළිකුල් කරන ලද්දෙක්වද, අවමන් කරන ලද්දෙක්වද ඝටනා ලද්දෙක්වද විසුවෙමි. එකල්හිද හිස පහත්කොට බොහෝ ජනයා විසින් වඳිනු ලබන්නාවූ
622. “උතුම්වූ මගධපුරයට පිවිසෙන්නාවූ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාවූ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවෙහි දුටුවෙමි.
623. “කද බහා තබා උන්වහන්සේට වැඳීමට පැමිණියෙමි. මට අනුකම්පාකොට පුරුෂොත්තමවූ බුදුරජාණන් වහන්සේ වැඩි සිටිසේක.
624. “ශාස්තෲන් වහන්සේගේ පාද වන්දනාකොට එකත් පසෙක සිටියේ සියලුම සත්වයන්ට උතුම්වූ පැවිද්ද මම ඉල්ලුවෙමි.
625. “ඉක්බිති කාරුණිකවූ සියලු ලෝවැස්සන්ට අනුකම්පාකරන්නාවූ ශාස්තෲන් වහන්සේ මට “භික්ෂුව, මෙහි එවයි’ වදාළ සේක. එයින්ම මට උපසම්පදාවද විය.
626. “ඒ මම තනිවම වනයෙහි තෘෂ්ණාවෙන් තොරව වාසය කරන්නේ මට යම් අවවාදයක් දුන්නේද, ඒ ශාස්තෲන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කෙළෙමි.
627. “රාත්‍රිය පිළිබඳ ප්‍රථම යාමයෙහි පෙරවිසූ කඳ පිළිවෙල සිහිකරන ඤාණය ලදිමි. රාත්‍රිය පිළිබඳ මධ්‍යම යාමයෙහි දිව ඇසද පිරිසිදු කෙළෙමි. රාත්‍රිය පිළිබඳ අළුයම් කාලයෙහි අවිද්‍යාන්ධකාරයද දුරු කෙළෙමි.
628. “රාත්‍රිය ගෙවී හිරු උදාවීම ඇතිවූ කල්හි, සක්දෙව් රජද මහා බ්‍රහ්මයාද පැමිණ මට නමස්කාර කළාහුය.
629. “උත්තම පුරුෂය ඔබට නමස්කර වේවා, නිදුකාණන් වහන්ස, ඔබවහන්සේගේ යම්බඳු ආශ්‍රවයෝ වෙත් නම්, ඒ කෙළෙස් ක්ෂයවී ගියාහ. ඔබ වහන්සේ දක්ෂිණාර්හයෙක් වූයෙහිය.
630. “ඉක්බිති දෙවියන් විසින් පිරිවරණ ලද ශාස්තෲන් වහන්සේ මා දැක සිනා පහළකොට මේ කාරණය වදාළහ.
631. “ඉන්ද්‍රිය සංවරයෙන්ද, සීලයෙන්ද, ප්‍රඥාවෙන්ද, ශ්‍රේෂ්ඨ හැසිරීමෙන්ද යන මෙකී ගුණයන්ගෙන් බ්‍රාහ්මණයෙක් වෙයි. ඒ නිසා මොහු උත්තම බ්‍රාහ්මණයෙකි.”
මෙසේ ආයුෂ්මත් සුනීත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සුනීත ථේර ගාථා
එහි උද්දානය:
මහත් ඍද්ධි ඇති සීලව සහ සුනීත යන තෙරවරු දෙදෙනෙකි. ද්වාදස නිපාතයෙහි ගාථා විසිහතරක් වේ.
ද්වාදසක නිපාතය නිමියේය.
13. තෙරසක නිපාතය
13. 1. 1.
632. “යමෙක් ශ්‍රේෂ්ඨවූ අඟු රටට අධිපති බිම්බිසාර රජහුගේ රටෙහි කෙළෙඹියෙක් වීද, ඒ සෝණතෙමේ අද ලොකෝත්තර ධර්මයන්ගෙන් උසස් බවට පැමිණියේ විය. සියලු දුක් කෙළවර කෙළේය.
633. “ධර්ම පසක් සිඳ දැමුවාවූද, ධර්ම පසක් දුරු කළාවූද, ධර්ම පසක් වැඩුවාවූද, ඇලීම් පසක් ඉක්මෙව්වාවූද, භික්ෂු තෙමේ චතුරොඝය තරණය කළාහුයයි කියනු ලැබේ.
634. “උඩටනැගි මාන නල ඇත්තාවුද, ප්‍රමාද දෝෂයෙන් යුක්තවූවාවූද, කාමාශාව දුරු නොකළාවූ භික්ෂුවට සීල සමාධි ප්‍රඥා යන ධර්මයෝ සම්පූර්ණ බවට නොපැමිණෙති.
635. “යම් හෙයකින් කෘත්‍ය වශයෙන් තමා අයත් දෙය හැරදමා, නොකටයුතු කෙරෙයිද, උද්ගත මාන නල ඇති ප්‍රමාද දෝෂයෙන් යුක්තවුනාවූ ඔවුන්ට ආශ්‍රවයෝ වැඩෙත්.
636. “යමෙකුන් විසින් මනාකොට පටන්ගන්නාලද කායගතාසති භාවනාව වඩාද, ඔහු නොකටයුතු සේවනය නොකරයි. කටයුතුවල නිතර යෙදී වාසය කරයි. ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන තැනැත්තා කෙරෙන් ආශ්‍රව ධර්මයෝ ක්ෂය බවට යෙත්.
637. “කියන ලද ඍජු මාර්ගයෙහිම නොනවත්වාම ගමන් කරව, තමහට තමාම චොදනා කරගනිමින් පටන්ගන්නා ලද වීර්ය ඇතිව නිවන් කරාම පැමිණිය යුතුය.
638. “ලෝකයෙහි පසැස් ඇති නිරුත්තරවූ ශාස්තෲන් වහන්සේ වීණොපමාවෙන් මට ධර්මය දේශනා කළ සේක.
639. “මම උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි ඇලුනේ උත්තමාර්ථයට පැමිණීම පිණිස සමථ විදර්ශනා වැඩුවෙමි. ත්‍රිවිද්‍යාවද ලැබුවෙමි. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි.
640. “නිරවද්‍ය ධර්මයන්හි යෙදුනහුට සිත පිළිබඳ විවේකයද, නිදුක් සුවයද ලදිමි. දැඩිව අල්ලාගැනීම් ධර්මයන් නැති කිරීමෙන්,