11. එකාදසක නිපාතය
11. 1. 1.
597. “දරුව, ඔබවහන්සේට මේ වෙනෙහි විසීමෙන් කවර ප්‍රයෝජනයක්ද? උජ්ජුවාන පර්වතය වේරම්බ වාතය නිසා රමණීයයි ඔබවහන්සේට එහි ධ්‍යාන කළ හැකියි.
598. “වළාකුල් වේරම්බ වාතය උපදවා නම් මගේ සිත විවේකයටම ඇදෙයි.
599. “කාලවර්ණවූද බිජුවටින් උපන්නාවූද කාකතෙම සුසානස්ථානයෙහිම ස්වකීය නිවාසස්ථානය කොට වෙසේද, එසේම මමද ශරීරය අනුව බලන සිහියෙන් යුක්තව වෙසෙමි.
600. “යම් පැවිද්දෙක් සේවකාදී අනිකෙකු විසින් නො රකීද, එසේම අන්‍යයෝද පළිබෝධ අවස්ථාවන්හිදී නොරකී. ඉදින් භික්ෂුව කාමයන්හි අනපේක්ෂකවූයේ නම් සැපසේ වෙසෙයි.
601. “සිහිල්වූ ගල්ද, ගෝන මුවාදී සතුන්ද, දිය සෙවෙලින් යුක්තවූ ජලයද, ඇති ඒ වනයෝ මට ප්‍රිය කරයි.
602. “මම පෙර වනයන්හිද, කඳු ගුහාවලද, වල් සතුන් ඇසුරු කළ ප්‍රාන්ත සෙනසුන්වලද, විසුවෙමි.
603. “මොවුන් විනාශයට පැමිණෙත්වා. දුකට පැමිණෙත්වා, වධයට පැමිණෙත්වා, යන අනාර්යවූ දොස් සහිතවූ කල්පනාවෝ මම නොදනිමි.
604. “මා විසින් ශෘස්තෲන්වහන්සේ ඇසුරු කොට පුරුදු කරනලද ධර්මය ඇත්තෙක්ව බුදුන්ගේ අනුශාසනාවට අනුව කටයුතු කරනල දී. ගරුකවූ පඤ්චස්කන්ධ බර බහා තැබීමි. භවයාගේ කෙළවර විනාශ කෙළෙමි.
605. “යම් අර්ථයක් නිසා ගිහිගෙයින් නික්ම ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේද, මා විසින් සියලු සංයෝජන නසා ඒ අර්ථය සිදු කෙළේය.
606. ‘මම ජීවිතයද මරණයද කැමති නොවෙමි. කර්මාන්ත කරන්නෙක් ඒ කර්මාන්තය අවසන් කළා සේ පිරිනිවන්පාන කාලය බලාපොරොත්තුවෙමි.
607. “මම ජීවිතයද මරණයද බලාපොරොත්තු නොවෙමි. නුවණිනුත් සිහියෙනුත් යුක්තව පිරිනිවන් කාලය බලාපොරොත්තු වෙමි.”
මෙසේ ආයුෂ්මත් සංකිච්ච ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සංකිච්ච ථේර ගාථා
එහි උද්දානය:
කෘත්‍ය කොට නිම කළ, ආශ්‍රව රහිත වූ සංකිච්ච තෙරණුවෝ එකම වේ. එකාදස නිපාතයෙහි ගාථා එකොළොසක් ද වේ.
එකාදසක නිපාතය නිමියේය.
12. ද්වාදසක නිපාතය
12. 1. 1.
608. “මේ ලෝකයෙහි සීලයට අනුවම හික්මිය යුතුයි. මනාකොට හික්මුනාවූ සිල් ඇති තැනැත්තාට මේ ලෝකයෙහි සියලු සම්පත් පමුණුවයි.
609. “ප්‍රශංසාවත්, වස්තු ලාභයත්, පරලොව සැපයත් යන තුන් ආකාර සැපයක් පතන්නාවූ ප්‍රඥාවන්තයා විසින් සීලයම රැකිය යුතුයි.
610. “සිල් ඇති තැනැත්තේ වනාහි සීලයෙන් හික්මීම නිසා බොහෝ මිත්‍රයන් ලබයි. දුශ්ශීල පුද්ගලයා නරක හැසිරීම නිසා යහපත් මිත්‍රයන්ගෙන් පිරිහෙයි.
611. “දුශ්ශීල මනුෂ්‍යයා නින්දා හා අපකීර්තිය ලබයි. සිල්වත් පුද්ගලයා හැමකල්හි ගුණ වර්ණනා හා ප්‍රශංසා ලබයි.
612. “සීලය කුශල ධර්මයන්ට ප්‍රමුඛ වෙයි. සියලු උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට පැමිණීමද වෙයි. සමථ විදර්ශනා ආදී ධර්මයන්ද උපදනේ වෙයි. ඒ නිසා සියලු ධර්මයන්ට මූලිකව පවත්නා සීලය පිරිසිදු කළ යුතුයි.
613. “කාය දුශ්චරිතාදිය වළකන නිසා සීලසංවරය සීමාවක් බඳුය. එසේම සිත සන්තොෂ කරන්නේය. සියලු බුදුවරයන්ගේ තොටක් (එතරවන ස්ථානයක්) වැනිය. ඒ නිසා සීලයම පිරිසිදු කළයුතුය.
614. “සීලය අසමාන බලයක් වැනිය. සීලය උතුම් ආයුධයක් වැනිය. සීලය උතුම් ආභරණයක් වැනිය. සීලය පුදුමවූ යුද ඇඳුමක් බඳුය.
615. “සීලය මහත් බල ඇති සේතුවක් (ඒදණ්ඩක්) වැනිය. සීලය ඉතා උතුම් සුවඳක් වැනිය. දිශානු දිශාවන්ට පැතිරී යන සුවඳ විලේපනයක් වැනිය.
616. “සීලය අග්‍රවූ බත් මුලක් වැනිය. සීලය උතුම්වූ මාර්ගෝපකරණයක් වැනිය. යම් තැනකට යනු කැමැත්තහුට ශ්‍රේෂ්ඨ වාහනයක් වැනිය.
617. “සීලයෙන් නොහික්මුණු අඥාන පුද්ගලයා මෙලොවද නින්දා ලබයි. පරලොවද නොසතුටු සිත් ඇත්තෙක්ව වෙසෙයි. හැම තැනම නොසතුටෙන් වෙසෙයි.
618. “සීලයට අනුව හික්මුණු පුද්ගලයා මේ ලෝකයෙහි දීම කීර්තිය ලබයි. පරලොව ස්වර්ගසැපයෙන් සතුටුවෙයි. හැම තැනදීම ඒ ධෛර්‍ය්‍යසම්පන්න පුද්ගලයා සතුටින් වෙසෙයි.
619. “මෙහි සීලයම අග්‍රයි. ප්‍රඥාවද උතුම් වෙයි. මනුෂ්‍ය හා දිව්‍යලෝකයෙහිත් සීල ප්‍රඥා දෙකට ජය ලැබෙයි.”
මෙසේ ආයුෂ්මත් සීලව ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සීලව ථේර ගාථා