1. 7. 8.
68. “උතුම් අර්හත්ඵල චිත්තයෙන් යුක්තවූ නොපමාවන්නාවූ අර්හත් මාර්ගඥාන ප්රතිලාභයට උපායවූ සත්තිස් බොධිපාක්ෂික ධර්මයෙහි හික්මෙන්නාවූ අටලෝ දහම්හි කම්පා නොවූ රාගාදී ක්ලේශ තැවිලි නැති බැවින් සන්සිඳුනාවූ සියලු කල්හි සිහියෙන් යුක්තවූ ක්ෂීණාශ්රව මුනිහට ඉෂ්ට වියොගාදී වස්තුක ශෝකයෝ නොවෙති.”
ආයුෂ්මත් එකුදානිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
එකුදානිය ථෙරගාථා.
1. 7. 9.
69. “භාග්යවතුන් වහන්සේගේ මහා රසවත්වූ උත්තම සර්වඥතාඥානයෙන් පරිපූර්ණ බුදුහු විසින් දේශනාකරණලද ධර්මය අසා නිවන් පැමිණෙනු පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපැද්දෙමි. ඒ භාග්යවතුන් වහන්සේ සතර යෝගයන්ගෙන් උපද්රව නැති නිර්වාණ මාර්ගයෙහි දක්ෂ වනසේක.”
ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම මේ ගාථාව වදාළහ.
ඡන්න ථෙරගාථා.
1. 7. 10.
70. “මේ ශාසනයෙහි ශීලයම අග්රවේ. ඤාණ සම්පන්න පුද්ගලතෙමේ උතුම්වේ. මිනිසුන් විෂයෙහිද, දෙවියන් විෂයෙහිද, ශීලය හා ප්රඥාව හේතුකොට ගෙන ප්රතිපාක්ෂිකයන් පරදවා ජයගැන්මවේ.”
ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පුණ්ණ ථේර ගාථා.
වග්ගො සත්තමො නිට්ඨිතො.
එහි උද්දානය:
වප්ප ද, වජ්ජිපුත්ත ද, පක්ඛ ද, විමලකොණ්ඩඤ්ඤ ද, උක්ඛෙපකටවච්ඡ ද, මෙඝිය ද, එකධම්මික ද, එකුදානිය, ඡන්න හා මහත් බල ඇති පුණ්ණ තෙරුන් ද වේ.
8. අට්ඨමවග්ගො
1. 8. 1.
71. “සියුම්වූ නිපුණවූ පටිච්ච සමුප්පාදාදී අර්ථයන් ලක්ෂණ ත්රයයට නගා දක්නාසුළුවූ ප්රඥා විෂයෙහි දක්ෂවූ සබ්රම්සරුන් කෙරේ යටත් පැවතුම් ඇති සෙවුනාලද වෘද්ධ ස්වභාව ඇති නොහොත් සෙවුනාලද වෘද්ධශීලීන් ඇත්තාවූ ඒ යොගාවචරයා විසින් නිවන් දුකසේ ලැබියයුතු නොවේ.”
ආයුෂ්මත් වච්ඡපාල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වච්ඡපාල ථෙරගාථා.
1. 8. 2.
72. “යම්සේ මොනවට වැඩීගිය ආශා ඇති හටගත් ලොකු කුඩා අතු ඇති හුණ කිළිලතෙමේ හුණ පඳුරෙන් බැහැරලන්නට නොහැකිවේද, බිරින්දක් ගෙන ආකල මමද එසේ ගෘහවාසයෙන් නික්මගත නොහෙන්නෙමි. මම දැන් පැවිදිවීමි. මට දැන් අනුදතමැනවි.”
ආයුෂ්මත් ආතුම තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ආතුම ථෙරගාථා.
1. 8. 3.
73. “ජරායෙන් මඩනාලද එකක්හුද දුකටපත් හටගත් වෘද්ධි ඇති එකක්හුද, ආයුෂයාගේ පිරිහීමට පැමිණ මළඑකක්හුද, දැක ඒ හේතුවෙන් සංවේගප්රාප්තවූ මම සිත්කලුවූ පඤ්චකාමයන් හැරපියා ගිහිගෙන් නික්ම පැවිදිවීමි.”
ආයුෂ්මත් මාණව තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මාණව ථේරගාථා.
1. 8. 4.
74. “රහත් භික්ෂුවක්හට පඤ්චකාම ගුණික රාගයයි කියනලද කාමච්ඡන්දයද, නවවිධ ආඝාත වස්තූන් මුල්කොට උපදනා ක්රෝධයයි කියනලද ව්යාපාදයද චිත්ත-කාය දෙදෙනාගේ ලොඩගතියවූ ථිනමිද්ධයද, චිත්තයාගේ නොසන්සුන් ස්වභාවූ උද්ධච්චයද, බුද්ධාදී වස්තුවිෂයෙහි සැකකිරීම ලක්ෂණකොට ඇති විචිකිච්ඡාවද, නිරවශෙෂ වශයෙන්ම නැත්තේය.”
ආයුෂ්මත් සුයාම තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුයාම ථේරගාථා.
1. 8. 5.
75. (ශීලාදී ගුණයෙන් යහපත්ව සංවරණය කළ අත්බැව් ඇති පරානුකම්පායෙන් යහපත්ව කළ දහම් දෙසුන් ඇති) “ආර්යයන්ගේ දර්ශනය යහපත් වෙයි (කුමක් හෙයින්දයත්? ඔවුන්ගේ දැකීම් ඇතිකල) සැක සිඳීයන්නීය. ලෞකික-ලොකොත්තර ප්රඥාව වැඩෙන්නීය. ඒ ආර්යයෝ බාලයාද පණ්ඩිතයකු කෙරෙති, එහෙයින් සත්පුරුෂයන්ගේ සමාගමය යහපත් වන්නේය.”
ආයුෂ්මත් සුසාරද තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුසාරද ථෙරගාථා.
1. 8. 6.
76. “සත්වයන් මානාදියෙන් තමන් උසස්කොට හඟනා කල්හි යටත් පැවතුම් ඇතියෙක් වන්නේය. හීන අදහස් ඇති බැවින්ද කුසීත භාවයෙන්ද ගුණයෙන්ද පහත්වනකල්හි තෙමේ ප්රණීත අදහස්වලින්ද ගුණයෙන්ද උසස් වන්නේය. නොහොත් කෙලෙසුන් නැගී සිටින කල්හි නොඋපදනා සැටියෙන් ඒවා සිඳහරනේය. (සත්වයන්) මාර්ගබ්රහ්මචරිය වාසයද අරියවාසයද නොවසන කල්හි, තෙමේ ඒ උත්තම වාසයන්හි යෙදී වසන්නේය. (සත්වයන්) කාමගුණරතියෙන් හා කෙලෙස් රතියෙන් ඇලෙන කල්හි තෙමේ එසේ නොඇලෙන්නේය.”
ආයුෂ්මත් පියඤ්ජහ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පියඤ්ජහ ථෙරගාථා.