1. 7. 1.
61. “මනා නුවණින් ස්වභාව ධර්මය අවිපරීත ලෙස දක්නා තැනැත්තේ දර්ශන සම්පන්න අන්යයාද (ආර්යයාද) දකියි. ස්වභාව ධර්මය අවිපරීත ලෙස නොදත් පෘථග්ජනයාද දකියි. ස්වභාව ධර්මය අවිපරීත ලෙස නොදත් පෘථග්ජනතෙමේ දර්ශන විරහිත පෘථග්ජනයාද දර්ශන සම්පන්න ආර්යයාද නොදකියි.”
ආයුෂ්මත් වප්පතෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වප්ප ථෙරගාථා.
1. 7. 2.
62. “අපි වෙනෙහි හරනලද දරකඩක්සේ තනිව වාසය කෙරෙමු. ඒ මාහට බොහෝ නුවණැත්තෝ ස්වර්ගගාමීන්ට නිරයේ උපනුන් මෙන් කැමැති වෙත්.”
ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වජ්ජිපුත්ත ථෙරගාථා.
1. 7. 3.
63. “යම් කෙනෙක් කුශලධර්මයෙන් ගිලිහුණෝ වෙද්ද, ඔවුහු නිරයාදියෙහි වැටීයෙති, (එසේ) වැටී ගියෝද භව සැපතෙහි ගිජුවූවාහු යළි යළිත් සසරදුකට වැටෙන්නාහ. මා විසින් සිවු මගින් කටයුතු සොළොස් වැදෑරුම් කිසකොට නිමවනලදී. ඇලියයුතු නිවනෙහි ඇලුම් කරනලදී. ඵල සමාපත්ති සුඛයෙන් නිවණට අනුක්රමයෙන් පැමිණෙනලදී.”
ආයුෂ්මත් පක්ඛ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පක්ඛ ථෙරගාථා.
1. 7. 4.
64. “ගසෙක නම ඇත්තියකු කෙරේ හෙවත් අම්බපාලී ගණිකාවගේ කුසෙහි උපන්නේය. සුදු කොඩියක් ඇත්තකු හෙවත් බිම්සර රජහු කරණකොටගෙන හටගත්තේය. (උඩට ඔසවන අර්ථයෙන්) ‘කේතු’ නම් පත් මානය ගෙවා හළ විමල කොණ්ඩඤ්ඤ, (කුශලධර්මයන්හි උද්ගතාර්ථයෙන්) කේතු නම් ලත් ප්රඥායෙන්ම ‘මහාකෙතු’ නම් ලත් මාරයාගේ බලය මැඩලීය”
ආයුෂ්මත් විමල කොණ්ඩඤ්ඤ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
විමලකොණ්ඩඤ්ඤ ථෙරගාථා.
1. 7. 5.
65. “උක්ඛෙපකට වච්ඡයා විසින් බොහෝ අවුරුදු ගණනෙකින් (ළෙහිදරා) එකතුකොට ගන්නාලද යම් බුද්ධ වචනයක් වේද, ධර්මයෙහි මනාසේ පිහිටා හුන්, (ඒ සමාපත්ති වශයෙන් හා ධර්මදේශනා වශයෙන්) උපන් උදාර ප්රීති ඇති වච්ඡතෙමේ ඒ ධර්මය ගිහියනට දේශනා කෙරෙයි.”
ආයුෂ්මත් උක්ඛෙපකට වච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උක්ඛෙපකට වච්ඡ ථෙරගාථා.
1. 7. 6.
66. “සියලු දතයුතු ධර්මයන්ගේ පරතෙරට පත් මහා වීරයන්වහන්සේ අනුශාසනා කළසේක. මේ උන්වහන්සේගේ ධර්මය අසා සිහියෙන් යුක්තව ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි වාසය කෙළෙමි. මා විසින් ත්රිවිද්යාවෝ අනුක්රමයෙන් පැමිණෙන ලදහ. බුදුහුගේ අනුශාසනය කරනලදී.”
ආයුෂ්මත් මෙඝිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මෙඝිය ථෙරගාථා.
1. 7. 7.
67. “මා විසින් රාගාදී ක්ලේශයෝ දවනලදහ. සියලු කාමාදී භවයෝ නසන ලදහ. ජාති දුක් ප්රධානකොට ඇති සසර විශේෂයෙන් ගෙවා හරින ලදී. දැන් මතුභවයෙහි ඉපදීමෙක් මට නැත්තේය.”
ආයුෂ්මත් එකධම්ම සවණිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
එකධම්ම සවණිය ථෙරගාථා.
1. 7. 8.
68. “උතුම් අර්හත්ඵල චිත්තයෙන් යුක්තවූ නොපමාවන්නාවූ අර්හත් මාර්ගඥාන ප්රතිලාභයට උපායවූ සත්තිස් බොධිපාක්ෂික ධර්මයෙහි හික්මෙන්නාවූ අටලෝ දහම්හි කම්පා නොවූ රාගාදී ක්ලේශ තැවිලි නැති බැවින් සන්සිඳුනාවූ සියලු කල්හි සිහියෙන් යුක්තවූ ක්ෂීණාශ්රව මුනිහට ඉෂ්ට වියොගාදී වස්තුක ශෝකයෝ නොවෙති.”
ආයුෂ්මත් එකුදානිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
එකුදානිය ථෙරගාථා.
1. 7. 9.
69. “භාග්යවතුන් වහන්සේගේ මහා රසවත්වූ උත්තම සර්වඥතාඥානයෙන් පරිපූර්ණ බුදුහු විසින් දේශනාකරණලද ධර්මය අසා නිවන් පැමිණෙනු පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපැද්දෙමි. ඒ භාග්යවතුන් වහන්සේ සතර යෝගයන්ගෙන් උපද්රව නැති නිර්වාණ මාර්ගයෙහි දක්ෂ වනසේක.”
ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම මේ ගාථාව වදාළහ.
ඡන්න ථෙරගාථා.
1. 7. 10.
70. “මේ ශාසනයෙහි ශීලයම අග්රවේ. ඤාණ සම්පන්න පුද්ගලතෙමේ උතුම්වේ. මිනිසුන් විෂයෙහිද, දෙවියන් විෂයෙහිද, ශීලය හා ප්රඥාව හේතුකොට ගෙන ප්රතිපාක්ෂිකයන් පරදවා ජයගැන්මවේ.”
ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පුණ්ණ ථේර ගාථා.
වග්ගො සත්තමො නිට්ඨිතො.
එහි උද්දානය:
වප්ප ද, වජ්ජිපුත්ත ද, පක්ඛ ද, විමලකොණ්ඩඤ්ඤ ද, උක්ඛෙපකටවච්ඡ ද, මෙඝිය ද, එකධම්මික ද, එකුදානිය, ඡන්න හා මහත් බල ඇති පුණ්ණ තෙරුන් ද වේ.