1. 4. 8.
38. “යමෙක් ඍද්ධි බලයෙන් ‘සරභු’ නම් මහා ගඟ (ගලන්නට නොදී දිය පහර නවතා පර්වත කූටයක් සේ මහත් දිය කඳ) රැඳවීද, ඒ ගවම්පති තෙර කිසිදු බන්ධනයකින් නොබැඳුණෙක, තෘෂ්ණා නැත්තෙක. සියලු රාගාදී ඇලීම් ඉක්මවා ගියාවූ භවයාගේ පරතෙරට පැමිණි පූජ්‍යවූ ඒ ක්ෂීණාශ්‍රව මුනීන් දෙවියෝ වඳනාහ.”
ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. ගවම්පති ථේර ගාථා
1. 4. 9.
39. “සිහි ඇති සසර බිය දක්නා මහණතෙම සිරියෙන් (අඩයටියෙන්) පහළක්හු මෙන්ද මස්තකය ගිනිගෙන දැවෙන කළෙක්හි මෙන්ද, කාම රාගය ගෙවා හරනා පිණිස අප්‍රමාදව වාසය කරන්නේය.”
ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. තිස්ස ථේර ගාථා
1. 4. 10.
40. “ස්මෘති සම්පන්න සසර බිය දක්නා මහණතෙමේ සිරියෙන් පහළක්හු මෙන්ද, භව රාගය ගෙවා හරනා පිණිස අප්‍රමාදව වාසය කරන්නේය.”
ආයුෂ්මත් වඞ්ඪමාන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. වඞ්ඪමාන ථේර ගාථා
වග්ගො චතුත්ථො නිට්ඨිතො.
එහි උද්දානය:
ගබ්භරතීරිය, සුප්පිය, සොපාක, පොසිය, සාමඤ්ඤකානි, කුමාපුත්ත, කුමාපුත්තසහායක, ගවම්පති, තිස්ස සහ වඞ්ඪමාන යන මහත්වරුය.
5. පඤ්චමවග්ගො
1. 5. 1.
41. “විදුලීහු වෙහාර පර්වතයාගේද පාණ්ඩව පර්වතයාගේද අතර එල්ල කොට ගෙන හෙන්නාහ. උපමා රහිතවූ අෂ්ට ලොක ධර්ම විෂයෙහි අකම්පිතවූ බුදුහුගේ පුතෙක් පර්වත දෙකක් අතරට පැමිණියේ ධ්‍යාන වඩයි.”
ආයුෂ්මත් සිරිවඞ්ඪ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සිරිවඞ්ඪ ථේර ගාථා.
1. 5. 2.
42. “චාලායෙනි, උපචාලායෙනි, සීසූප චාලායෙනි, කිම තෙපි සිහියෙන් යුක්තව වාසය කරන්නහුද? විනිවිද දක්නාවූ වාලවෙධියකු වැනි තොපගේ මයිල් තෙරණුවෝ වැඩිසේක.”
ආයුෂ්මත් බදිරවනිය රෙවත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
බදිරවනිය රෙවත ථේර ගාථා.
1. 5. 3.
43. “අර්හත් ඵල විමුක්තියෙන් යහපත්ව මිදුණෙමි. මනාකොටම මිදුණෙමි. කුදුගති තුනෙකින් මනාසේ ඒකාන්තයෙන්ම මිදුණෙමි. දෑකැති කුදයෙන් මම මිදුණෙමි. නගුල් කුදයෙන් මම මිදුණෙමි. උදලු කුදයෙන් මම මිදුණෙමි. ඉදිනුත් ඒ දෑකැති ආදිය මෙහි මා සමීපයෙහිම පවතිද්ද, එතෙකුදු වුවත් එයින් කමෙක් නැත, කමෙක් නැත්මය, සුමංගලය, ධ්‍යාන වඩව, සුමංගලය, ධ්‍යාන වඩව, සුමංගලය අප්‍රමාදව වාසය කරව.”
ආයුෂ්මත් සුමංගල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුමංගල ථේර ගාථා.
1. 5. 4.
44. “මෑණියෙනි, (මේ ලෝකයෙහි ජනයෝ) මළවුන් ගැනද ජීවත් වුවත් නොපැනෙන්නවුන් ගැනද හඬන්නාහ. මෑණියෙනි, ජීවත්ව සිටින මා දන්නෙහිය. මෑණියෙනි, මා ගැන කුමට හඬනෙහිද”
ආයුෂ්මත් සානු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සානු ථේර ගාථා.
1. 5. 5.
45. යම්සේ යහපත්වූ වෘෂභාජානීය තෙම (වෙහෙසට පත්ව) පැකිලී යළිත් සිටිසේම පිහිටා සිටීද, එසේ මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් දර්ශන සම්පන්නවූ, සම්‍යක් සම්බුද්ධයන්ගේ ශ්‍රාවකයා සලකව්.”
ආයුෂ්මත් රමණීය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රමණීය විහාරී ථේර ගාථා.