1. 4. 1.
31. “අරණ්‍ය නම් ලත් ඒ මහා වනයෙහි ඇටමැසි-මදුරු මැස්සන් විසින් පහස්නා ලද්දාවූ ස්මෘති සම්පන්න බුද්ධ ශ්‍රාවකතෙම යුද පෙරමුණෙහි ඇතකු මෙන් ඉවසන්නේය.”
ආයුෂ්මත් ගහ්වර තීරිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
1. ගහ්වර තීරිය ථේර ගාථා
1. 4. 2.
32. “ඇසිල්ලක් පාසා ජරාවට පැමිණෙන්නාවූ රාගාදී එකළොස් ගින්නකින් දැවෙන්නාවූ මේ කයින් ජරා විරහිතවූ පරම ශාන්තවූ කාමාදී යොගයන්ගේ විනාශයට පිහිටවූ අතිශයින් උතුම්වූ නිවන පරිවර්තනය කරන්නෙම්.”
ආයුෂ්මත් සුප්පිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. සුප්පිය ථේර ගාථා
1. 4. 3.
33. “යම්සේ ප්‍රියවූ එක් පුත්‍රයකු විෂයෙහි දෙමවුපියෝ ඒකාන්ත හිතවත්හු වෙද්ද, එමෙන් හැමතන්හි සෑම සතුන් විෂයෙහි ඒකාන්ත හිතෛෂී වන්නේය.”
ආයුෂ්මත් සොපාක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. සොපාක ථේර ගාථා
1. 4. 4.
34. “මේ ස්ත්‍රීහු නම් නිතොර නොළංවූව හුම හිත වැඩ එළවන්නෝ වෙති. නුවණැත්තහු විසින් මේ බව දතයුතුය. පොසිය නම් ලත් මම වනයෙන් නික්ම ගමට ගොස් ඉන් ගෙට ගියෙමි. ඉන් නැඟිට පැරණි දෙවැන්නියට නොකියාම ඉවත්ව ගියෙමි.”
ආයුෂ්මත් පොසිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. පොසිය ථේර ගාථා
1. 4. 5.
35. “ලොවී ලොවුතුරා සුවයෙන් ප්‍රයෝජන ඇති යමෙක් නිවන් පසක් කරනු සඳහා ඍජුවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සිය සතන්හි උපදවා ගනීද, ඒ ආර්ය මාර්ගයෙහි හැසිරෙන්නාවූ පුද්ගලතෙම ඒ ලොවී ලොවුතුරා සැපය ලබන්නේය. එපමණක් නොවේ කීර්තියටද පරිවාර සම්පත්තියටද පැමිණේ.”
ආයුෂ්මත් සාමඤ්ඤකානි තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. සාමඤ්ඤකානි ථේර ගාථා
1. 4. 6.
36. “බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබව මැනව, යහපත් චරිතය මැනව, පංචකාම ගුණ නැමැති නිකෙතනයෙන් (ගෙයින්) වෙන්වූ වාසය සැම කල්හි මැනව, කුශලාකුශලාදී අර්ථයන් ප්‍රශ්න කිරීම මැනවි, ගෞරවයෙන් අවවාදය පිළිගන්නේ මැනව, මේ ගුණ පස කෙත්වත් රන් රිදී ආදී අයිතියක් නැති ශ්රමණයාගේ ශ්‍රමණ භාවය වේ.”
ආයුෂ්මත් කුමාපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. කුමාපුත්ත ථේර ගාථා
1. 4. 7.
37. “අසංයතවූ (හික්මීමක් නැති) භික්ෂූහු ඒ ඒ ජනපදයන්හි හොඳට ආහාරපාන ලැබීමාදී කල්පනාවන් කෙරෙමින් නොයෙක් ජනපදයනට යන්නාහ. සමාධියද වරදවා ගනිති, ජනපද චාරිකාව කුමක් කරන්නීද? එහෙයින් වෙසෙන ප්‍රදෙශයන් කෙරේ උපන් විරොධය සංසිඳුවා ගෙන මිථ්‍යා කල්පනා පෙරටුකොට නොගෙන ධ්‍යාන වඩන්නේය.”
ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
7. කුමාපුත්ත සහායක ථේර ගාථා
1. 4. 8.
38. “යමෙක් ඍද්ධි බලයෙන් ‘සරභු’ නම් මහා ගඟ (ගලන්නට නොදී දිය පහර නවතා පර්වත කූටයක් සේ මහත් දිය කඳ) රැඳවීද, ඒ ගවම්පති තෙර කිසිදු බන්ධනයකින් නොබැඳුණෙක, තෘෂ්ණා නැත්තෙක. සියලු රාගාදී ඇලීම් ඉක්මවා ගියාවූ භවයාගේ පරතෙරට පැමිණි පූජ්‍යවූ ඒ ක්ෂීණාශ්රව මුනීන් දෙවියෝ වඳනාහ.”
ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. ගවම්පති ථේර ගාථා
1. 4. 9.
39. “සිහි ඇති සසර බිය දක්නා මහණතෙම සිරියෙන් (අඩයටියෙන්) පහළක්හු මෙන්ද මස්තකය ගිනිගෙන දැවෙන කළෙක්හි මෙන්ද, කාම රාගය ගෙවා හරනා පිණිස අප්‍රමාදව වාසය කරන්නේය.”
ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. තිස්ස ථේර ගාථා
1. 4. 10.
40. “ස්මෘති සම්පන්න සසර බිය දක්නා මහණතෙමේ සිරියෙන් පහළක්හු මෙන්ද, භව රාගය ගෙවා හරනා පිණිස අප්‍රමාදව වාසය කරන්නේය.”
ආයුෂ්මත් වඞ්ඪමාන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. වඞ්ඪමාන ථේර ගාථා
වග්ගො චතුත්ථො නිට්ඨිතො.
එහි උද්දානය:
ගබ්භරතීරිය, සුප්පිය, සොපාක, පොසිය, සාමඤ්ඤකානි, කුමාපුත්ත, කුමාපුත්තසහායක, ගවම්පති, තිස්ස සහ වඞ්ඪමාන යන මහත්වරුය.