1. 3. 9.
29. “හාරිතය, තාගේ සිත සමාපත්ති වශයෙන් හෝ වීර්යාරම්භ වශයෙන් ඔසවා ගන්න. හී ඇද හරින හී වඩුවකු සේ සිත ඍජු කොටගෙන සිව්සස් වසා සිටි සසරට මුල්වූ අවිද්‍යාව බිඳලන්න.”
ආයුෂ්මත් හාරිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. හාරිත ථේර ගාථා
1. 3. 10.
30. “මාහට ආබාධයක් හටගත් කල්හි මට මේ ආබාධයෙක් උපන. මට නොපමා වන්නට මේ කලැයි සිහියක් පහළවී”
ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. උත්තිය ථේර ගාථා
වග්ගො තතියො නිට්ඨිතො.
එහි උද්දානය:
නිග්‍රොධ, චිත්තක ථෙර, ගොසාල, සුගන්ධ, නන්දිය, උභය ථෙර, ලොමසකංගිය, ජම්බුගාමික පුත්ත, හාරිත සහ උත්තිය ඉසිවරයාණෝය.
4. සතරවන වර්ගය
1. 4. 1.
31. “අරණ්‍ය නම් ලත් ඒ මහා වනයෙහි ඇටමැසි-මදුරු මැස්සන් විසින් පහස්නා ලද්දාවූ ස්මෘති සම්පන්න බුද්ධ ශ්‍රාවකතෙම යුද පෙරමුණෙහි ඇතකු මෙන් ඉවසන්නේය.”
ආයුෂ්මත් ගහ්වර තීරිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
1. ගහ්වර තීරිය ථේර ගාථා
1. 4. 2.
32. “ඇසිල්ලක් පාසා ජරාවට පැමිණෙන්නාවූ රාගාදී එකළොස් ගින්නකින් දැවෙන්නාවූ මේ කයින් ජරා විරහිතවූ පරම ශාන්තවූ කාමාදී යොගයන්ගේ විනාශයට පිහිටවූ අතිශයින් උතුම්වූ නිවන පරිවර්තනය කරන්නෙම්.”
ආයුෂ්මත් සුප්පිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. සුප්පිය ථේර ගාථා
1. 4. 3.
33. “යම්සේ ප්‍රියවූ එක් පුත්‍රයකු විෂයෙහි දෙමවුපියෝ ඒකාන්ත හිතවත්හු වෙද්ද, එමෙන් හැමතන්හි සෑම සතුන් විෂයෙහි ඒකාන්ත හිතෛෂී වන්නේය.”
ආයුෂ්මත් සොපාක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. සොපාක ථේර ගාථා
1. 4. 4.
34. “මේ ස්ත්‍රීහු නම් නිතොර නොළංවූව හුම හිත වැඩ එළවන්නෝ වෙති. නුවණැත්තහු විසින් මේ බව දතයුතුය. පොසිය නම් ලත් මම වනයෙන් නික්ම ගමට ගොස් ඉන් ගෙට ගියෙමි. ඉන් නැඟිට පැරණි දෙවැන්නියට නොකියාම ඉවත්ව ගියෙමි.”
ආයුෂ්මත් පොසිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. පොසිය ථේර ගාථා
1. 4. 5.
35. “ලොවී ලොවුතුරා සුවයෙන් ප්‍රයෝජන ඇති යමෙක් නිවන් පසක් කරනු සඳහා ඍජුවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සිය සතන්හි උපදවා ගනීද, ඒ ආර්ය මාර්ගයෙහි හැසිරෙන්නාවූ පුද්ගලතෙම ඒ ලොවී ලොවුතුරා සැපය ලබන්නේය. එපමණක් නොවේ කීර්තියටද පරිවාර සම්පත්තියටද පැමිණේ.”
ආයුෂ්මත් සාමඤ්ඤකානි තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. සාමඤ්ඤකානි ථේර ගාථා
1. 4. 6.
36. “බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබව මැනව, යහපත් චරිතය මැනව, පංචකාම ගුණ නැමැති නිකෙතනයෙන් (ගෙයින්) වෙන්වූ වාසය සැම කල්හි මැනව, කුශලාකුශලාදී අර්ථයන් ප්‍රශ්න කිරීම මැනවි, ගෞරවයෙන් අවවාදය පිළිගන්නේ මැනව, මේ ගුණ පස කෙත්වත් රන් රිදී ආදී අයිතියක් නැති ශ්‍රමණයාගේ ශ්‍රමණ භාවය වේ.”
ආයුෂ්මත් කුමාපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. කුමාපුත්ත ථේර ගාථා