1. 3. 1.
21. “මම ජාති, ජරා, මරණාදිය හේතුකොටගෙන පවත්නා සසර බියෙන් බිය පත් නොවෙමි. අපගේ ශාස්තෲන් වහන්සේ අමා මහ නිවන් විෂයෙහි දක්ෂ වන සේක. යම් ආර්ය මාර්ගයෙක්හි (යථොක්ත) බිය නොසිටීද, භික්ෂූහු ඒ ආර්ය මාර්ගය කරණ කොටගෙන අභය ස්ථානයට යෙති”
ආයුෂ්මත් නිග්‍රොධ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
1. නිග්‍රොධ ථේර ගාථා
1. 3. 2.
22. “නිල්වන් මනා බෙල්ලක් ඇති, මස්තකයෙහි හටගත් ශිඛායෙන් ශොභනවූ මයුරයෝ ‘කාරවී’ නම් වෙනෙහි නාද කරන්නාහ. ඒ මයුරයෝ තුමූ වැසි සුළං පීඩායෙන් හටගත් මිහිරිනාද ඇත්තාවූ, භාවනානු යුක්තවූ, ශයනප්‍රාප්තවූ මා ප්‍රබොධ කෙරෙත්.”
ආයුෂ්මත් චිත්තක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. චිත්තක ථේර ගාථා
1. 3. 3.
23. “මම වනාහි උණ පඳුරක් සමීපයෙහි මී මිශ්‍ර කිරිබත වළඳා, (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය මැනවින් පිළිගනිමින්, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම විදර්ශනා කරමින්, විවේකය වඩමින් (පෙර මා විසූ) පර්වත සානුවට යළි යන්නෙමි.”
ආයුෂ්මත් ගොසාල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. ගොසාල ථේර ගාථා
1. 3. 4.
24. “පැවිදිව ඉක්ම ගිය එක් වස් ඇති මහණෙකි. ඔහු විසින් ත්‍රි විද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුන්ගේ අවවාදය කරණ ලදී. ධර්මයාගේ නෛර්ය්‍යානික බවක් බලව”
ආයුෂ්මත් සුගන්ධ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. සුගන්ධ ථේර ගාථා
1. 3. 5.
25. “යමක්හුගේ සිත නිත්‍යයෙන් ඥානාලෝකයෙන් හටගත් ආලෝක ඇත්තේ වේද, අග්‍ර ඵලයට පැමිණියේ වේද, පාපිය, එබඳු රහත් මහණහුට විරොධ කොට (තෝ) දුකට පත්වන්නෙහිය.”
ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. නන්දිය ථේර ගාථා
1. 3. 6.
26. “සූර්ය බන්ධුවූ බුදුහුගේ සුභාෂිත තෙපුල් අසා සත් කඩක් කොට පැළුෑ අශ්ව රොමයක් ඊයකින් විදුනාක් මෙන් පරම සුඛවූ නිර්වාණ ධර්මය මම අවබෝධ කළෙමි.”
ආයුෂ්මත් අභය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. අභය ථේර ගාථා
1. 3. 7.
27. “ත්‍රිවිධ විවේකය වඩමින්, හීතණ වුවද, කුසතණ වුවද, (කටු සහිත) වැලුක් පඳුරු වුවද, සුවඳහොට වුවද, මුදු තණ වුවද, බබුස්තණ වුවද ළයෙනුදු ඉවත් කරන්නෙමි. (පයින් පෑගීම ගැන කියනුම කිම?)”
ආයුෂ්මත් ලොමසකංගිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
7. ලොමසකංගිය ථේර ගාථා
1. 3. 8.
28. “කිම? තෙපි චීවරාදී සැරසීමෙහි නොයෙදුනහුද? කිම? ආත්ම භාවය සැරසීමෙහි නොඇලුනහුද? කිම? තොපගේ ශීලමය සුගන්ධය හැම දිශාවන්හි හමවහුද, දුශ්ශීල ප්‍රජාතොමෝ එසේ කළ හැකි නොවන්නීය.”
මෙසේ ආයුෂ්මත් ජම්බුගාමිකපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. ජම්බුගාමිය පුත්ත ථේර ගාථා
1. 3. 9.
29. “හාරිතය, තාගේ සිත සමාපත්ති වශයෙන් හෝ වීර්යාරම්භ වශයෙන් ඔසවා ගන්න. හී ඇද හරින හී වඩුවකු සේ සිත ඍජු කොටගෙන සිව්සස් වසා සිටි සසරට මුල්වූ අවිද්‍යාව බිඳලන්න.”
ආයුෂ්මත් හාරිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. හාරිත ථේර ගාථා
1. 3. 10.
30. “මාහට ආබාධයක් හටගත් කල්හි මට මේ ආබාධයෙක් උපන. මට නොපමා වන්නට මේ කලැයි සිහියක් පහළවී”
ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. උත්තිය ථේර ගාථා
වග්ගො තතියො නිට්ඨිතො.
එහි උද්දානය:
නිග්‍රොධ, චිත්තක ථෙර, ගොසාල, සුගන්ධ, නන්දිය, උභය ථෙර, ලොමසකංගිය, ජම්බුගාමික පුත්ත, හාරිත සහ උත්තිය ඉසිවරයාණෝය.