1. 2. 9.
19. “ජලය බෙදන්නෝ තමන් රිසි රිසි තැනට දිය ගෙන යති. හී වඩුවෝ හී ඇදහැර ලති. රිය වඩුවෝ ලී නමා ගනිති. ශීලාදී මහා ව්රත ඇති ධීරයෝ ආත්ම දමනය කෙරෙත්.”
ආයුෂ්මත් කුණ්ඩල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. කුණ්ඩල ථේර ගාථා
1. 2. 10.
20. “මරණය නිමිතිකොටගෙන මට බියෙක් නැත. ජීවිතය කෙරේ ආලයෙක් නැත. තීරණ ප්රඥාවෙන් හා මුහුකළ සිහියෙන් යුත් මම ස්වකීය දෙහය ඉවත ලා පියන්නෙමි.”
ආයුෂ්මත් අජිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. අජිත ථේර ගාථා
වග්ගො දුතියො නිට්ඨිතො.
එහි උද්දානය:
චූළවච්ඡ, මහාවච්ඡ, වනවච්ඡ, සීවක, කුණ්ඩධාන, බෙලට්ඨි, දාසක, සිගාලපිති, කුණ්ඩල සහ අජිත යන දස දෙනෙකි.
3. තුන්වන වර්ගය
1. 3. 1.
21. “මම ජාති, ජරා, මරණාදිය හේතුකොටගෙන පවත්නා සසර බියෙන් බිය පත් නොවෙමි. අපගේ ශාස්තෲන් වහන්සේ අමා මහ නිවන් විෂයෙහි දක්ෂ වන සේක. යම් ආර්ය මාර්ගයෙක්හි (යථොක්ත) බිය නොසිටීද, භික්ෂූහු ඒ ආර්ය මාර්ගය කරණ කොටගෙන අභය ස්ථානයට යෙති”
ආයුෂ්මත් නිග්රොධ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
1. නිග්රොධ ථේර ගාථා
1. 3. 2.
22. “නිල්වන් මනා බෙල්ලක් ඇති, මස්තකයෙහි හටගත් ශිඛායෙන් ශොභනවූ මයුරයෝ ‘කාරවී’ නම් වෙනෙහි නාද කරන්නාහ. ඒ මයුරයෝ තුමූ වැසි සුළං පීඩායෙන් හටගත් මිහිරිනාද ඇත්තාවූ, භාවනානු යුක්තවූ, ශයනප්රාප්තවූ මා ප්රබොධ කෙරෙත්.”
ආයුෂ්මත් චිත්තක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. චිත්තක ථේර ගාථා
1. 3. 3.
23. “මම වූකලි හුණ ලැහැබෙක්හි මීයෙන් හැනූ කිරිබත වළඳා ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ශාස්තෘ ශාසනය යහපත් සේ පිළිගැන්මෙන් සම්මර්ශනය කොට (රහත්වීමි.) විවේක සුවය වඩමින් (යළිත් සාණු පර්වතය කරා යමි)”
ආයුෂ්මත් ගොසාල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. ගොසාල ථේර ගාථා
1. 3. 4.
24. “පැවිදිව ඉක්ම ගිය එක් වස් ඇති මහණෙකි. ඔහු විසින් ත්රි විද්යාවෝ පැමිණෙන ලදහ. බුදුන්ගේ අවවාදය කරණ ලදී. ධර්මයාගේ නෛර්ය්යානික බවක් බලව”
ආයුෂ්මත් සුගන්ධ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. සුගන්ධ ථේර ගාථා
1. 3. 5.
25. “යමක්හුගේ සිත නිත්යයෙන් ඥානාලෝකයෙන් හටගත් ආලෝක ඇත්තේ වේද, අග්ර ඵලයට පැමිණියේ වේද, පාපිය, එබඳු රහත් මහණහුට විරොධ කොට (තෝ) දුකට පත්වන්නෙහිය.”
ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. නන්දිය ථේර ගාථා