1. 12. 8.
118. “බාල්‍ය - යෞවනාදි වයස (තෝ වහා යවයි) දෙවියන් විසින් අණවන ලද්දක්හු මෙන් අඩුවෙමින් විනාශයට පැමිණෙමින් දිවෙයි. ස්වකීය ස්වභාවයෙන් සිටගත් මේ රූපය අනෙකක් මෙන් මට වැටහේ, ඒ මා ගැතිවූම, වියොග වාස විරහිතවූම මාගේ ආත්මභාවය අනෙකක්හුගේ මෙන් සිහි කෙරෙම්.”
ඉත්ථං සුදං ආයස්මා කිම්බිල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
කිම්බිල ථේර ගාථා
1. 12. 9.
119. “ගෞතමයෙනි, රුක්මුල ලැහැබකට පැමිණ නිවන සිත්හි තබාගෙන විදසුන් සහිත මග වඩාලන්න. අධිකුශල ධර්මයන්හි පමා නොවන්න. බිලි, බිලි, ක්‍රියාව “බිලි බිලි” යන ශබ්දය තොපට කුමක් කරන්නීද?”
ඉත්ථං සුදං ආයස්මා වජ්ජපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වජ්ජිපුත්ත ථේර ගාථා
1. 12. 10.
120. “මා විසින් සියලුම පංචස්කන්ධයෝ විදර්ශනා ඥාන සහිත මාර්ග ප්‍රඥායෙන් පිරිසිඳ දන්නා ලද්දාහු අවිජ්ජා-තණ්හා නම්වූ සිඳ හල මුල් ඇත්තාහු සිටිනාහ. දුක්ඛක්ඛය නම්වූ නිර්වාණය මා විසින් ලබන ලද්දේය. ආසවක්ඛය නම්වූ නිර්වාණය මා විසින් පැමිණෙන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා ඉසිදත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ඉසිදත්ත ථේර ගාථා
ද්වාදසම වග්ගයයි.
එහි උද්දානය:
ජෙන්ත ද, වච්ඡගොත්ත ද, වනවච්ඡ නම් වූ වච්ඡ ද, අධිමුත්ත ද, මහානාම ද, පාරාසරිය ද, යස ද, කිම්බිල ද, වජ්ජිපුත්ත ද, මහා යස ඇති ඉසිදත්ත ද වෙති.
එහි වර්ග උද්දානය:
එකක නිපාතයෙහි කෘත්‍යය කළාවූ, ආශ්‍රව රහිතවූ, එකසිය විස්සක් තෙරවරු මහර්ෂීන් විසින් මනාව සංගායනා කරන ලද්දාහුය.
එකකනිපාතය නිමියේය.
2. දුක නිපාතය
1. පඨමවග්ගො
2. 1. 1.
121. “නිත්‍යවූ කිසි භවයක් නැත. සදාකාලිකවූ සංස්කාරයෝ හෝ නැත්තාහ. ඒ සම්බන්ධ කෙනෙක් ඔබමොබ උපදින්නාහුද චුතවන්නාහුද වෙත්.
122. “මේ දෝෂය දැක භවය වුවමනා නොවූවෙක් වූවෙමි. සියළු කාමයන් අත්හළෙමි. මා විසින් කෙලෙස් නැතිකිරීම ලබනලදී.”
ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
1. උත්තර ථේර ගාථා
2. 1. 2.
123. මේ ජීවිතය අයහපතින් නොපිනවමි. ආහාරය සිතයට යහපත ගෙන නොදේ. ශරීරය ආහාරය නිසා පවත්නේය. මෙසේ දැක ආහාර සෙවීම කරමි.
124. කුලයන්හි යම් මේ වැඳීමක් පිදීමක් ඇද්ද, එය ක්ලේශ මඩකැයි කීවාහුය. සියුම් උල ඇදීම පහසු නොවේ. නින්දිත පුරුෂයා විසින් සත්කාරය දුරුනොකළ හැකිය.
ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. පිණ්ඩොලභාරද්වාජ ථේර ගාථා
2. 1. 3.
125. “වඳුරෙකු මෙන් දොරටු පසක් ඇති ගෘහයට ඇතුල්ව ක්ෂණයක් ක්ෂණයක් පාසා ස්පර්ශ කරමින් දොරින් දොර කරකැවේද,
126. “සිත් නමැති වඳුර සිටින්න. නොදුවන්න. තොපට ඒ දිවීම පෙර සේ නැත නුවණින් පෙළුවෙහිය. ඈතට නොම යන්නෙහිය.”
ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මෙසේ මේ ගාථාවන් කීහ.
3. වල්ලිය ථේර ගාථා